පිරිසුදු රාජ්‍ය සේවයකට රටේ ජනතාව දේශපාලන ක්‍රමය වෙනස් කළා-‘දූෂණයට එරෙහිව පුරවැසියන් සවිබල ගැන්වීම’ දේශනයේදී ජනාධිපති ලේකම් කියයි

දේශපාලන ක්‍රමය වගේම රාජ්‍ය සේවය ද මේ රටේ වෙනස් විය යුතු බව ජනතාව තීරණය කළා. දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට විකල්ප බලවේගයක් පත් කර ගැනීමට ජනතාව කටයුතු කළේ ඒ අනුව බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා පැවසීය.

සුපිළිපන් දේශයක් ගොඩනැඟීම උදෙසා ජනාධිපති කාර්යාලය සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එක්ව සංවිධාන කළ අභ්‍යන්තර කටයුතු ඒකක (IAU) සහ දූෂණ විරෝධී මුලපිරීම් (AIA) තක්සේරුව පිළිබඳ වැඩමුළුවට සහභාගි වෙමින් ‘දූෂණයට එරෙහිව පුරවැසියන් සවිබල ගැන්වීම’ මැයෙන් දේශනයක් කරමින් ජනාධිපති ලේකම්වරයා එසේ ප්‍රකාශ කළේය. එම වැඩමුළුවේ ප්‍රධාන දේශනයද එය වූ අතර කොළඹ මැන්ඩරිනා හෝටලයේදී වැඩමුළුව ඊයේ (27) පැවැත්විණි. ජනතා අභිලාෂ ඉටු කිරීම ජනතා රජයේ වගකීම බැවින් ඒ සඳහා වන ප්‍රායෝගික ක්‍රියාවලියකට ප්‍රවිෂ්ට වීමේ අවශ්‍යතාව මේ වැඩමුළුවෙන් අවධාරණය කෙරෙන බවත් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව සුපිළිපන් රාජ්‍ය සේවයක් වෙනුවෙන් පෙළ ගැසෙන ලෙස ජනාධිපති ලේකම්වරයා සියලු රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

ජනතාව සමඟ සෘජුවම කටයුතු කරන ආයතන වීමේ පදනමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25, පළාත් ලේකම් කාර්යාල 09, අමාත්‍යාංශ 24ක් හා දෙපාර්තමේන්තු 43ක් නියෝජනය කරමින් නිලධාරීහු වැඩමුළුවට එක්ව සිටියහ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.එස්.ඒ. දිසානායක, ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහත්ම මහත්මීන්ද, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහ ජනාධිපති කාර්යාලයේ නිලධාරීහුද මේ වැඩමුළුවට සහභාගි වූහ.