ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර පවතින ද්විපාර්ශ්වික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කරමින් ශ්‍රී ලංකාවේ නව රජය ගෙන යන ආර්ථික වැඩපිළිවෙළට ඉතාලි රජයේ සහාය දෙන බව ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවික් මහතා (Damiano Francovigh) පැවසීය.
ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපතිවරයා එසේ ප්‍රකාශ කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ ඊයේ(27) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදීය.
එමෙන්ම ඉතාලි රැකියා අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ගේ වීසා ගැටලු කඩිනමින් නිරාකරණය කිරීමට අපේක්ෂා කරන බව ද ඉතාලි තානාපතිවරයා මෙහිදී පැවසීය.
ඉතාලියේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට සහ ඉතාලියේ රැකියා අපේක්ෂිත ශ්‍රී ලාංකිකයන්ට නීත්‍යානුකූල රැකියා අවස්ථා සඳහා පහසුකම් සැලසීමට දැනට සකස් කර ඇති ගිවිසුම්වලට ශ්‍රී ලංකා රජය සහාය දක්වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පැවසීය.
මෙරට සංචාරක, වරාය සහ ආයෝජන ක්ෂේත්‍ර සඳහා ඉතාලි රජයෙන් ලබා දිය හැකි සහාය පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.