ජාතික ආරක්ෂාව ප්‍රශ්නයක් නෑ- මහජන ආරක්ෂක ප්‍රශ්නයක් තිබෙනවා – හිටපු ඇමැති පාඨලී කියයි

ජාතික ආරක්ෂක ප්‍රශ්නයක් රටේ දැනට පෙනෙන්නට නොමැති බවත් දැනට සිදුවන ක්‍රියාකාරකම් දෙස බැලීමේදී මහජන ආරක්ෂක ප්‍රශ්නයක් තිබෙන බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවැසීය.

සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නායකයන් සහ එක්සත් ජනරජ පෙරමුණේ නායකයන් අතර සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධාන මූලස්ථානයේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රණවක මහතා මේ බව සඳහන් කළේය. මහජන ආරක්ෂක ප්‍රශ්නය ජාතික ආරක්ෂක ප්‍රශ්නයක් බවට පත්වෙන්න පුළුවන්. රාජ්‍යයට තර්ජනයක් නෑ, මහජන ආරක්ෂක ප්‍රශ්නයක් තියෙන්නේ. හැබැයි ඒක දේශපාලන දඩයම්වලින් ඒ මහජන ආරක්ෂක ප්‍රශ්නය විසඳන්න බැහැ. ඒ සඳහා පුළුල් වැඩසටහනක් කරන්න ඕනෑ.

අපි පිළිගන්න ඕනෑ අවුරුදු තිහක් තිස්සේ මේ රටේ අවි ආයුධ විශාල ප්‍රමාණයක් සැරිසරනවා. මේක ගැන ඊට වඩා විවෘතව හා සංවේදීව කටයුතු කරන්නැතුව මේ නිකන් දේශපාලන දඩයම් කරමින්, දේශපාලන වාසි ලබාගන්න කරුණු කටයුතු කරමින් මේ ප්‍රශ්නය විසඳෙන්නේ නෑ.

ඒ නිසා මේ දැන් තියෙන මහජන ආරක්ෂක ප්‍රශ්නය ජාතික ආරක්ෂක ප්‍රශ්නයක් බවට පත්වෙන්න පුළුවන් ඔය විදිහට වැඩ කළොත්. දැනට නම් එහෙම ජාතික ආරක්ෂක ප්‍රශ්නයක් අපිට පේන්න නම් නැහැ යැයිද කීවේය.