අමෙරිකාවේ බිත්තර මිල අහස උසට

මේ වසරේදී අමෙරිකාවේ බිත්තර මිල 40% කින් ඉහළ යනු ඇතැයි එරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනාවැකි පළ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වසර තුනක කාලයක සිට එරට පැතිරෙන කුරුලු උණ වයිරසය පාලනය කිරීම සඳහා කුකුලන් මිලියන 166කට වඩා ප්‍රමාණයක් මරා දැමීමට සිදුවීම ඊට හේතු වී ඇති අතර, එසේ මරා දමනු ලැබූ පක්ෂීන්ගෙන් වැඩි ප්‍රමාණයක් බිත්තර දමන කිකිළියන් බව ද වාර්තා වේ. මේ මාසයේදී අමෙරිකාවේ බිත්තර මිල ඉතිහාසයේ ඉහළම මිල වාර්තා කර ඇති බවත්, බිත්තර දුසිමක් ඩොලර් 4.95 දක්වා (රුපියල් 1,465ක්) ඉහළ ගිය බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. වසර 2022 දී පළමුවරට කුරුලු උණ වයිරසය එරට කුකුළු ගොවිපොළවල් ආක්‍රමණය කිරීමෙන් පසු වසංගතය පාලනය කිරීම එරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඩොලර් බිලියන 2ක් වැය කර ඇති අතර, මේ වසරේදී තවත් ඩොලර් බිලියනයක් වැය කිරීමට අපේක්ෂා කරන බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. කුරුලු උණ සහ ඉහළ යන බිත්තර මිල පාලනය කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය නව සැලසුමක් ද නිවේදනය කළ බව වැඩිදුරටත් වාර්තා වේ.