මහින්ද-මෛත්‍රී-ගෝඨා-රනිල් රට සවාරිවලට මිලියන 4615ක් වැය කරලා-අගමැති හරිනි මැතිසබයේදී හෙළි කරයි

ජනපති අනුරගේ මාස 5ට ‍වියදම ලක්ෂ 18යි

පසුගිය වසර 15ක කාලයක් හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ යන මහත්වරු විසින් විදේශ සංචාර සඳහා රුපියල් මිලියන 4615ක් වැයකර ඇතැයි පාර්ලිමේන්තුවේදී ඊයේ (27) අනාවරණය කෙරිණි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2010-2014 අතර කාලය තුළ රුපියල් මිලියන 3572ක් වැය කරමින් විදෙස් සංචාරවල නිරතව තිබේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 -2019 වකවානුව තුළ විදෙස් සංචාර වෙනුවෙන් රුපියල් මිලියන 384 ක් වැයකර ඇත.

2020 -2022 වසර දෙකේ ජනාධිපතිවරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා විදෙස් සංචාර සඳහා රුපියල් මිලියන 126ක්ද, 2023-2024 වකවානුවේදී ජනාධිපතිවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් සංචාර සඳහා රුපියල් මිලියන 533ක් වැයකර ඇති බවද අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය අනාවරණය කළාය.

එමෙන්ම 2024 සැප්තැම්බර් මාසයේ සිට 2025 පෙබරවාරි දක්වා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විදෙස් සංචාර සඳහා වැයකර ඇත්තේ රුපියල් මිලියන 1.8ක් පමණක් බවද අගමැතිවරිය ප්‍රකාශ කළාය.

2010 සිට 2025 දක්වා කාලයේ දී එක් වසරකදී වැඩිම වියදමක් දරා ඇත්තේ 2013 වසරේදී වන අතර එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ රුපියල් මිලියන 1144ක් වැයකර ඇති බවද හරිනි අමරසූරිය මෙණෙවිය අනාවරණය කළාය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රුපියල් මිලියන 533ක් වැය කරමින් විදෙස් සංචාර තිස් තුනකට සහභාගි වී ඇති බවත් එම සංචාර සඳහා පුද්ගලයන් 154 දෙනකු සහභාගි වී ඇති බවත් ඇය කීවාය.

අගමැතිනිය මේ බව සඳහන් කළේ අය-වැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමිනි.

හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සම්බන්ධ වියදම් ඉදිරිපත් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අගමැතිවරිය මෙසේද සඳහන් කළාය.

ඒ වගේම 2022 වසර දෙකේ ජනාධිපතිවරයා වූ ගෝඨාභය රාජපක්ෂ මහතා රුපියල් මිලියන 126ක් වැයකර තිබෙන බව කිව යුතුයි. එම ප්‍රමාණය සාපෙක්ෂව ටිකක් අඩුයි. 2024 සැප්තැම්බර් මාසයෙ සිට 2025 පෙබරවාරි දක්වා ජනාධිපති අනුර කුමාර දිසානායක වැය කර තිබෙන්නේ රුපියල් මිලියන 1.8ක් පමණයි.

අපිත් වැඩ කරලා තියෙනවා. අපිත් රට නියෝජනය කළා. ජනතාව වෙනුවෙන් වැඩ කරලා රට නියෝජනය කර තිබෙනවා. ජනතාවට බරක් නොවී ජනතා මුදල් කළමනාකරණය කරන්නේ කොහොමද කියලා වචනවලින් පමණක් නෙවෙයි, මෙන්න අපි ක්‍රියාවෙන් පෙන්නලා තිබෙනවා. තව සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කළ හැකියි. ඇයි මෙතරම් වියදම් කරන්නේ. මේතරම් වියදම් වුණේ කොහොමද?

හිටපු ජනාධිපතිවරු මෙපමණ වියදමක් දැරුවේ කොහොමද කියලා අපි බැලුවා. මෙපමණ වියදමක් ගියේ ඇයි? රනිල් වික්‍රමසිංහ තමන්ගේ කාලයේදී තිස් තුන් වරක් විදෙස් සංචාරවල නිරත වෙලා තියෙනවා. ඒ සඳහා පුද්ගලයන් 154 දෙනෙක් සම්බන්ධ කරගෙන තිබෙනවා.

වත්මන් ජනාධිපතිවරයා විදෙස් සංචාර තුන වෙනුවෙන් සම්බන්ධ කරගෙන ඇත්තේ පුද්ගලන් 11 දෙනෙක් විතරයි.

රනිල් වික්‍රමසිංහ දෙවැනි එළිසබෙත් රැජිනියගේ අවසන් කටයුතු සඳහා එක්සත් රාජධානියට ගියේ පුද්ගලයන් දස දෙනෙක් එක්ක. ඒ වගේම එතුමා ජපානයේ හිටපු අගමැතිවරයාගේ අවසන් කටයුතුවලට පුද්ගලයන් 18 දෙ‍නෙක් ගෙන ගියා. ඒ විතරක් නෙමෙයි එංගලන්තයේ චාල්ස් රජුගේ අභිෂේකයට පුද්ගලයන් 12 දෙනෙක් ඉන්දියාවේ නිල සංචාරයකට පුද්ගලයන් 23 දෙනෙක් ගෙන ගියා.

වත්මන් ජනාධිපතිවරයා ඉන්දියාවේ නිල සංචාරයට ගියේ පස් දෙනෙක් එක්ක විතරයි. බලන්න වෙනස. රාජ්‍යතාන්ත්‍රික වශයෙන් සියලු නිල සාකච්ඡා කළා. ජනාධිපති යද්දි අදාළ පුද්ගලන් යා යුතුයි. ඇමැති ගියත් අදාළ පුද්ගලයන් යා යුතුයි. නමුත් පසුගිය කාලවලදී ගෙන ගියේ එහෙම නෙමෙයි.

රනිල් වික්‍රමසිංහ විපක්ෂ මන්ත්‍රීවරුත් ගෙන ගියා. ඒකෙන් කළේ අල්ලස් දීමක්. මේ සභාවේ දැන් ඉන්න සහ නැති අය මෙවැනි අවභාවිත කර තිබෙන බව පැහැදිලියි. මම කියන්නේ තමන්ගේ වරප්‍රසාද සහ තනතුර අවභාවිත කරලා තියෙන විදිය. ජනතාවගේ බදු මුදල් ආරක්ෂා කිරීම පරම යුතුකමක් කියලා අපි තේරුම්ගත යුතුයි.