සංහිඳියාව සඳහා විශ්වාසය ගොඩනඟන්න මාස කිහිපයක් තුළ පියවර ගණනාවක්ම ගත්තා
අවස්ථා සාධාරණ ලෙස බෙදාහැරීමෙන් ආර්ථික පරිවර්තනයක් ඇති කිරීමට කැපවෙනවා
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස පිළිබඳ මූලික හා දිගුකාලීන මූලධර්මවලට ගරු කරමින් සියලුම පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට කැපවන බව විදේශ කටයුතු, සංචාරක සහ විදේශ රැකියා ඇමැති විජිත හේරත් මහතා ජගත් මානව හිමිකම් සැසියේදී ප්‍රකාශ කළේය.
ගැටුමෙන් පැනනඟින අභියෝගවලට මුහුණ දීම සඳහා ස්ථාපිත දේශීය යන්ත්‍රණ සහ ක්‍රියාවලීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ ස්වාධීන හා විශ්වසනීය ආකාරයකින් දිගටම කරගෙන යන බවට සහතික කර තිබෙන බව පෙන්වා දී තිබේ.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 58 වැනි නිත්‍ය සැසිවාරය අමතමින් විජිත හේරත් මහතා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේද කීය.
“මාස කිහිපයකට පෙර පැවති ජනාධිපතිවරණ සහ පාර්ලිමේන්තු මැතිවරණවලදී, ශ්‍රී ලංකාවේ ජනතාව ආර්ථික, සමාජයීය සහ දේශපාලනික පරිවර්තනයක් කරා රට යොමු කිරීම සඳහා ශක්තිමත් ජනවරමක් සහිත නව රජයක් තෝරා පත්කර ගැනීමට ප්‍රගතිශීලී තීරණයක් ගත්තා.
2024 සැප්තැම්බර් සහ නොවැම්බර් මාසවල පැවති මෙම මැතිවරණවල ප්‍රතිඵල විවිධ අංශවලින් විශේෂ වැදගත්කමක් දරනවා. එය රටේ සියලුම ප්‍රදේශවල උතුර, දකුණ, නැඟෙනහිර, බටහිර සහ සියලු ජනවාර්ගික සහ ආගම්වල ජනතාවගේ සාමූහික හා ඒකාබද්ධ හඬක් පිළිබිඹු කරමින්, වෙනසක් සහ ධනාත්මක පරිවර්තනයක් සඳහා සහාය දක්වා තිබෙනවා.
මැතිවරණයෙන් පසු පිහිටුවන ලද වත්මන් පාර්ලිමේන්තුව අපගේ ඉතිහාසයේ වඩාත්ම වැදගත් පාර්ලිමේන්තුවක් වෙනවා. වාර්තාගත කාන්තා නියෝජනයක්, විවිධ ප්‍රජාවන්ගේ නියෝජිතයන් සහ දෘශ්‍යාබාධිත පුද්ගලයකු ඇතුළත්ව රටේ ව්‍යවස්ථාදායකය සකස් වී තිබෙනවා.
මෙම ඇතුළත් කිරීම, ස්ත්‍රී-පුරුෂභාවය, ජනවාර්ගිකත්වය හෝ වෙනත් හේතු මත පදනම් වූ වෙනස්කම් නොසලකා එහි සියලු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කරන ශ්‍රී ලංකාවේ නව මාවත නියෝජනය කරනවා.
දහ වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේ සමාරම්භක උත්සවයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කළ කතාවෙන් උපුටා දැක්වීමට මම කැමැතියි.
“මැතිවරණ මඟින් ජනතාව සහ අප අතර ගිවිසුමක් ඇතිවෙනවා. මෙම බැඳීම ගොඩනැඟෙන්නේ අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන සහ අදහස් ඉදිරිපත් කරන විට, රටේ අනාගතය හැඩගස්වා ගතයුතු ආකාරය ගෙනහැර දක්වමිනි.
මෙම අදහස් කෙරෙහි විශ්වාසය තබන ජනතාව අපට ඡන්දය දුන්නා. ජනතාව තම ඡන්දයෙන්, අපට පාලනය කිරීමට ජනවරම ලබාදීමෙන් මෙම සම්බන්ධතාවේ ඔවුන්ගේ කොටස ඉටුකර තිබෙනවා. දැන්, ජනතාවට සේවය කිරීම සඳහා අපගේ වාරය පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකාව නිදහසින් පසුව පසුගිය 2022 වසරේ දී ගැඹුරුම හා සංකීර්ණම සමාජ, ආර්ථික හා දේශපාලන අර්බුදයට මුහුණ දුන්නා. ආර්ථික අර්බුදයේ බලපෑම ජනගහනයේ සියලුම කොටස්වලට, විශේෂයෙන් දුප්පත්ම සහ සමාජයේ වඩාත්ම අවදානමට ලක්විය හැකි කොටස්වලට බලපාන මානුෂීය තත්ත්වයක් ඇති කළා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් රජය ආර්ථිකය ස්ථාවර කිරීමෙහිලා සාර්ථක වී තිබෙනවා. අවස්ථා සාධාරණ ලෙස බෙදාහැරීම තුළින් ආර්ථික පරිවර්තනයක් සහ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා අඩිතාලම දැමීමේ ක්‍රියාවලියක අපි දැනට යෙදී සිටිනවා.
අපගේ ජනතාවට, විශේෂයෙන් වඩාත් අවදානමට ලක්විය හැකි අයට, ආර්ථික අභියෝගවල අඛණ්ඩ බලපෑම පිළිබඳව අපි හොඳින් දන්නවා. රජය ජනතාවගේ ආර්ථික හා සමාජයීය අයිතිවාසිකම් ඉදිරියට ගෙන යෑම සඳහා තීරණාත්මක පියවර ගනිමින් සිටිනවා.
පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2025 ජාතික අය-වැයෙන්, සමාජ සුබසාධනය සහ ආරක්ෂාව සඳහා වැඩිකළ ප්‍රතිපාදන ඇතුළුව ජනතාවට බෙහෙවින් අවශ්‍ය සහන සහ බලගැන්වීම් ලබාදීම සඳහා පියවර රැසක් ගැනීමට අපි කැපවී සිටිනවා.
සැලකිය යුතු කරුණක් නම්, අය-වැය යෝජනා මඟින් සෞඛ්‍ය හා අධ්‍යාපනය සඳහා ඓතිහාසික ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා. කාන්තාවන්, අනාථ, ආබාධිත හෝ ඔටිසම් දරුවන් වතු අංශයේ ජනගහනය, ආබාධ සහිත පුද්ගලයන් සහ රටේ ගැටුම්වලින් පීඩාවට පත් හෝ ඌන සංවර්ධිත ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයන් වැනි අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා බලගැන්වීමේ පියවර රැසක් පෙන්වා දී තිබෙනවා.
ගැටුම්වලින් පීඩාවට පත් උතුරු සහ නැඟෙනහිර පළාත්වල සමාජ-ආර්ථික තත්ත්වය වැඩිදියුණු කිරීම සහ නැවත පදිංචි කිරීම, නිවාස, වන්දි සහ යටිතල පහසුකම් සංවර්ධනය වැනි තීරණාත්මක අවශ්‍යතා සපුරාලීම කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා.
උතුරු හා නැඟෙනහිර පළාත්වල යටිතල පහසුකම් සංවර්ධනය, ජීවනෝපායන් සඳහා සහාය වීම සහ කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම සඳහා රජය ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටිනවා. අන්තර් සම්බන්ධතාව වැඩිදියුණු කිරීම සහ කලාපීය සංවර්ධනයට සහාය වීම අරමුණු කරගෙන තිබෙනවා.
මේ වසරේ ජනවාරි 01 වැනි දින ජනාධිපතිවරයා විසින් “Clean Sri Lanka” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් සමඟ, රජය නව දේශපාලන සංස්කෘතියක් සහ සදාචාරාත්මක පාලනයක් සඳහා කැපවීම තහවුරු කර තිබෙනවා. එම වැඩසටහන පාරිසරික, සමාජයීය සහ පාලන ව්‍යුහයන් තුළ වෙනසක්, ඒකාබද්ධතාවක් සහ සහයෝගීතාවක් ඇති කිරීම සඳහා ජාතික වශයෙන් පාරිසරික, සමාජයීය සහ පාලන මුලපිරීම්වල උත්සාහයන් ඉලක්ක කරගත් සමස්ත සැලැස්මක් වෙනවා.
ජනතාව විසින් ලබා දී ඇති ජනවරමට අනුකූලව, අපේ රට තිරසර සංවර්ධනයක් කරා ගෙන යෑමේදී, රජය ප්‍රමුඛත්වය දෙන අතර ආර්ථික බිඳවැටීමට හේතු වූ වැරදි කළමනාකරණය සහ දූෂණය පිළිබඳ ගැටලු විසඳීමට ප්‍රමුඛත්වය දෙනවා.
සෑම මට්ටමකම රජයේ ව්‍යුහයන් ඩිජිටල් ලෙස පරිවර්තනය කිරීම තුළින්, අකාර්යක්ෂමතාව සහ දූෂණය අවම කිරීම සහතික කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් ආණ්ඩුව ජාතිය, ආගම, පන්තිය සහ කුලය මත පදනම් වූ කිසිදු භේදයකින් හෝ වෙනස්කම් කිරීමකින් තොරව තම ජනතාවගේ විවිධත්වයට ගරු කරනවා. ඒ වගේම එක්සත් ශ්‍රී ලංකාවක් සඳහා කටයුතු කිරීමට දැඩි ලෙස හා අවංකව කැපවී සිටිනවා.
අපේ රට තුළ භේදකාරී ජාතිවාදය හෝ ආගමික අන්තවාදය නැවත ඇති වීමට අපි ඉඩ තබන්නේ නැහැ. අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස පිළිබඳ මූලික හා දිගුකාලීන මූලධර්මවලට ගරු කරනු ලබනවා. ඒ අතරම, සියලුම පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කරනවා.
සෑම පුරවැසියකුටම තම ආගම ඇදහීමට, තම භාෂාව කතා කිරීමට සහ බියෙන් හෝ වෙනස්කම් කිරීමකින් තොරව තම සංස්කෘතික වටිනාකම් අනුව ජීවත් වීමට නිදහස තිබිය යුතු වෙනවා.
කිසිවකුට තම විශ්වාසයන්, සංස්කෘතිය හෝ දේශපාලන අනුබද්ධතා අනවශ්‍ය පීඩනයකට හෝ අගතියකට ගොදුරු වනු ඇතැයි හැඟිය යුතු නැහැ.
මේ සඳහා පරිපාලන, දේශපාලන සහ මැතිවරණ ක්‍රියාවලීන් සක්‍රිය කරනවා. ජාතික සමගිය සහ සංහිඳියාව තවදුරටත් ඉදිරියට ගෙන යෑම සඳහා ප්‍රත්‍යක්ෂ පියවර ගැනීමට රජය ප්‍රතිඥා දී තිබෙනවා.
සංහිඳියාවෙන් යුත් ශ්‍රී ලංකාවක් සඳහා වූ අපගේ දැක්මට සහ ප්‍රජාවන් අතර පරතරයන් පියවීම සඳහා වූ කැපවීමට අනුකූලව, ශ්‍රී ලංකා දිනයක් ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිවරයා යෝජනා කර තිබෙනවා. ගැටුමෙන් පැනනඟින අභියෝගවලට මුහුණ දීම සඳහා ස්ථාපිත දේශීය යන්ත්‍රණ සහ ක්‍රියාවලීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා රාමුව තුළ ස්වාධීන හා විශ්වසනීය ආකාරයකින් ඔවුන්ගේ කටයුතු දිගටම කරගෙන යන බවට අපි සහතික කර තිබෙනවා. අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය (OMP), වන්දි ගෙවීමේ කාර්යාලය සහ ජාතික සමගිය හා සංහිඳියාව සඳහා වූ කාර්යාලය (ONUR) වැනි දේශීය ආයතන ශක්තිමත් කරනවා. සත්‍යය සහ සංහිඳියා රාමුවක සමෝච්ඡයන්, ක්‍රියාත්මක කිරීමට පෙර, සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් ක්‍රියාවලියක් සහතික කිරීම සඳහා පුළුල්ම පාර්ශ්වකරුවන් සමඟ තවදුරටත් සාකච්ඡා කරනවා.
ව්‍යවස්ථාපිත රාමුව තුළ දේශීය යන්ත්‍රණයන් විශ්වාසදායක සහ ශක්තිමත් කිරීම අපගේ අරමුණ වෙනවා. ශ්‍රී ලංකා සමාජය තුළ ආතතීන් ඇති කරන ජාතිවාදය සහ ආගමික අන්තවාදය නිසා ඇතිවන ප්‍රචණ්ඩ ක්‍රියා විමර්ශනය කිරීමට බලය ලත් සත්‍ය සහ සංහිඳියා කොමිසමක් සඳහා වන කටයුතු ශක්තිමත් කිරීම මෙයට ඇතුළත් වෙනවා.
සංහිඳියාව සඳහා පසුගිය මාස කිහිපය තුළ විශ්වාසය ගොඩනැඟීමේ පියවර ගණනාවක් ද ගෙන තිබෙනවා. 2024 නොවැම්බර් මාසයේ දී, පලාලි – අච්චුවේලි ප්‍රධාන මාර්ගය ඇතුළුව උතුරු පළාතේ මාර්ග ගණනාවක් දශක ගණනාවකට පසු මහජන භාවිතය සඳහා විවෘත කර තිබෙනවා.
මෙම වසරේ ජනවාරි මාසයේ උතුරේ කළ සංචාරයේ දී ජනාධිපතිවරයා දෙමළ කතා කරන තරුණයන්ට ශ්‍රී ලංකාවේ පොලිස් සේවයට එක්වන ලෙස විවෘත ආරාධනයක් කළා. 2025 අය-වැයට රටපුරා පුස්තකාල වැඩිදියුණු කිරීම සඳහා සැලකිය යුතු ප්‍රතිපාදන ඇතුළත් වන අතර, දෙමළ ප්‍රජාව සඳහා අධ්‍යාපනයේ සහ ප්‍රබුද්ධත්වයේ සංකේතයක් වන ඓතිහාසික යාපනය පුස්තකාලය ද ඒ අතර වෙනවා.
උතුරු හා නැඟෙනහිර පළාත්වල ජනතාව ඇතුළු ජනතාවගේ ජනවරම සමඟ අපගේ සියලුම පුරවැසියන් සඳහා සාධාරණ, සමෘද්ධිමත් සමාජයක් සඳහා ඔවුන්ගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ඇති වගකීම රජය හොඳින් දන්නවා.
ජාතික සමගිය සහ සංහිඳියාව ඇතුළත් සංවර්ධනය කරා යන අපගේ මාවතේ ඉදිරියට යනවිට, ජාත්‍යන්තර ප්‍රජාවේ අඛණ්ඩ දිරිගැන්වීම සහ සහයෝගය වැදගත් වෙනවා.
ශ්‍රී ලංකාව 1955 වසරේ සිට එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී සාමාජිකයෙක්. අපි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මූලික ලේඛන 9ටම රාජ්‍ය පාර්ශ්වකරුවකු වන අතර මෙම කවුන්සිලයේ ගිවිසුම් ආයතන සහ නිත්‍ය යන්ත්‍රණයන් සමඟ නිතිපතා සම්බන්ධ වෙනවා.
අඛණ්ඩ හා ඵලදායී මැදිහත්වීමක් තුළින් මානව හිමිකම් සම්බන්ධයෙන් අව්‍යාජ සංවාදයක් සහ සහයෝගීතාවක් සඳහා අපි කැපවී සිටිනවා. ගැටුම්, අසමානතාව සහ ආන්තික දේශගුණික තත්ත්වයන් හේතුවෙන් දිනපතා මිලියන ගණනක් දරිද්‍රතාවට ඇද වැටෙනවා. ලොව පුරා යුද්ධවලින් පීඩා විඳින හෝ මියයන අසංඛ්‍යාත පිරිමින්, කාන්තාවන් සහ ළමයින් තවමත් සිටිනවා. මානව හිමිකම් ආරක්ෂා කිරීමට සහ අනාගත පරම්පරාවන් සඳහා අපගේ ග්‍රහලෝකය ආරක්ෂා කිරීමට මෙම තීරණාත්මක අභියෝගවලට මුහුණ දීම අත්‍යවශ්‍ය වෙනවා.
විශ්වීයත්වය, අපක්ෂපාතීත්වය සහ තෝරා නොගැනීම යන එහි ආරම්භක මූලධර්මවලට අනුකූලව, සමබර හා පරිපූර්ණ ආකාරයකින් මෙම දැවෙන ගෝලීය අභියෝගවලට මුහුණදීම සඳහා මානව හිමිකම් කවුන්සිලයට සහාය වීමට ශ්‍රී ලංකාව සූදානම්.
ශක්තිමත් ජාතික මානව හිමිකම් රාමු හරහා රාජ්‍යයන්ට තම අභියෝගවලට මුහුණදීමට දිරිගැන්විය යුතු බවත්, ඉල්ලීම මත ආධාර ලබාදිය යුතු බවත් අපි විශ්වාස කරනවා.
ජනතාව විසින් මෙහෙයවනු ලබන සහ ජනතාව කේන්ද්‍ර කරගත් ජාතික පරිවර්තනයක් කරා ගමන් කරන ජාතියක් ලෙස සහ ජාත්‍යන්තර ප්‍රජාවේ වගකිවයුතු සාමාජිකයෙකු ලෙස, ශ්‍රී ලංකාව අපගේ ජාතික නීති රාමුව තුළ මෙම කවුන්සිලය ඇතුළු එක්සත් ජාතීන්ගේ සාමාජිකයන් සමඟ සංවාද හා සහයෝගීතාවේ ඵලදායී ස්වභාවයකින් කටයුතු කරනවාÓ යැයි පැවසීය.
මහින්ද අලුත්ගෙදර