ශ්‍රී ලංකා-පෝලන්ත ආයෝජන තවදුරටත් ප්‍රවර්ධනයට දෙරටේ අවධානය

ශ්‍රී ලංකා-පෝලන්ත ආයෝජන සහ වෙළෙඳ සබඳතා තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට දෙරටේ අවධානය යොමුව තිබේ. පෝලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි ප්‍රියංගිකා ධර්මසේන මහත්මිය සහ පෝලන්ත ආයෝජන සහ වෙළෙඳ ඒජන්සියේ සභාපති ඇන්ඩ්‍රෙජ් ඩයිචා මහතා අතර පැවති සාකච්ඡාවේ දී මේ සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙන අතර, ශ්‍රී ලංකාව සමඟ පෝලන්ත ආයෝජන සහ වෙළෙඳ සබඳතා ප්‍රවර්ධනය කිරීමට මේ සාකච්ඡාව පැවති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

පුනර්ජනනීය බලශක්තිය, තොරතුරු තාක්ෂණය, කෘෂිකර්මාන්තය, ආහාර සැකසුම්, නිෂ්පාදනය, සංචාරක ව්‍යාපාරය සහ ආගන්තුක සත්කාරය ඇතුළු පෝලන්තයෙන් ශ්‍රී ලංකාවට ආයෝජනය කළ හැකි විභව ක්ෂේත්‍ර පිළිබඳව මෙහිදී අවධානය යොමුව තිබෙන අතර සාකච්ඡාව අතරතුර, තානාපතිනිය පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ පවතින විදේශ ආයෝජන අවස්ථා පෙන්වා දී තිබේ.

සූර්ය හා සුළං බලය ඇතුළු ස්වාභාවික සම්පත්වලින් පොහොසත් භූමියක් වන ශ්‍රී ලංකාවේ එවැනි ආයෝජන සඳහා ඉල්ලා තිබෙන අතර විදේශීය ආයෝජකයන්ට පහසුවෙන් ලබා ගතහැකි අවස්ථා ද ඇතැයි ප්‍රියංගිකා ධර්මසේන මහත්මිය පෙන්වා දී ඇත. මේ අතර ශ්‍රී ලංකාවේ පැවති ආර්ථික අර්බුදයෙන් පසු ආර්ථික ප්‍රකෘතිය සහ වැඩිදියුණු වන ආයෝජන වාතාවරණය පිළිබඳ යාවත්කාලීන කිරීමක් තානාපතිනිය විසින් සපයන ලද අතර, විදේශීය ආයෝජකයන්ට ලබා ගතහැකි ආකර්ෂණීය දිරිගැන්වීම් ද සඳහන් කර තිබේ.

ඊට අමතරව ආහාර සැකසුම් ශිල්පීය ක්‍රම සහ නිෂ්පාදන ක්ෂේත්‍රයේ පෝලන්ත විශේෂඥතාව සම්බන්ධව සඳහන් කරමින් උසස් පෝලන්ත තාක්‍ෂණය ශ්‍රී ලංකාවේ රෙදිපිළි හා කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණවලට ඇතුළත් කිරීමට අතිමහත් විභවයක් ඇති අංශවල පෝලන්ත ආයෝජන සඳහා ආරාධනා කර තිබෙන අතර, එමඟින් නාස්තිය අඩු කර ගුණාත්මකව නිෂ්පාදනය කළ හැකි ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

රටේ උපායමාර්ගික භූගෝලීය පිහිටීම සහ විදේශීය ආයෝජකයන්ට ව්‍යාපාරවලට ලබා ගතහැකි වාසි පිළිබඳව ද සාකච්ඡා අතරතුර අවධාරණය කර තිබෙන අතර, ආයෝජන සාකච්ඡා සංවිධාන කිරීම, ව්‍යාපාරික නියෝජිතයන්ගේ සංචාර සහ ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමේ ප්‍රවේශයන් කෙරෙහි මේ සාකච්ඡාවේ දී අවධානය යොමු කර තිබේ.

මේ අතර පෝලන්ත ආයෝජන සහ වෙළෙඳ ඒජන්සියේ සභාපති ඇන්ඩ්‍රෙජ් ඩයිචා මහතා පෝලන්ත වාණිජ මණ්ඩල සමඟ සහයෝගයෙන් ශ්‍රී ලංකාව සමඟ ආයෝජන සහ වෙළෙඳ සබඳතා ශක්තිමත් කිරීමට කැමැත්ත පළකර ඇත. පෝලන්ත සංචාරකයන් අතර ශ්‍රී ලංකාවේ ජනප්‍රියතාව වැඩිවෙමින් පවතින බව සඳහන් කරමින් සංචාරක අංශයේ ආයෝජන සඳහා ඇති හැකියාව පිළිබඳව ද පෙන්වා දී තිබේ.

මහින්ද අලුත්ගෙදර