අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එන වසරේ සිට ක්‍රියාත්මක කරනවා-අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය

රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ 2026 වසරේ සිට ක්‍රියත්මක කරන බැවින් ඒ සඳහා සූදානම් වන බව අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පැවසීය.

පළාත් අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් උතුරු මැද පළාතේ අධ්‍යාපන බලධාරීන් සමඟ උතුරු මැද පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවැති සාකච්ඡාවකදී අගමැතිවරිය මේ බව සඳහන් කළාය.

මෙවර අයවැයෙන් රුපියල් බිලියන 619ක් අධ්‍යාපනය සඳහා වෙන් කර ඇති බව පැවැසූ අගමැතිවරිය නමුත් පසුගිය වසරේ වෙන් කළ මුදල්වලින් සංවර්ධන කටයුතු සඳහා වැයකර ඇත්තේ එම මුදලින් අඩක් පමණක් බව පැවැසූවාය.

ඩිජිටල් පුරවැසි හැඳුනුම්පත හඳුන්වාදීමත් සමඟ අධ්‍යාපන තත්ත්වය, සෞඛ්‍ය ඇතුළු සියලු තොරතුරු ඇතුළත් ඩිජිටල් හැඳුනුම්පතක් පාසල් ළමුන් වෙනුවෙන් හඳුන්වාදීම සිදු කරන බැවින් මෙම තොරතුරු ඉදිරියේ දී ලබා ගැනීම දුෂ්කර නොවන බව අගමැතිවරිය පැවසුවාය.

නිශ්චිත දත්ත සහ තොරතුරු මත පදනම්ව තීරණ ගැනීම කළ යුතු බැවින්, එම තොරතුරු රැස් කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගතයුතු බව අගමැතිවරිය කියා සිටියේය.

උතුරුමැද පළාතේ පළමු වසරට ඇතුළත් වන දරුවන්ගෙන් කොපමණ ප්‍රමාණයක් පාසැල් අධ්‍යාපනය අතරමඟ හැර යන්නේ ද හා උසස් අධ්‍යාපනයට යොමු වීම පිළිබඳ සංඛ්‍යා ලේඛන නිසි පරිදි නොමැති බව මෙම සාකච්ඡාවේ දී අනාවරණය විය.

උතුරු මැද පළාතේ අධ්‍යාපන අංශයේ පවතින ගුරු පුරප්පාඩු පිරවීම පිළිබඳව සාකච්ඡා කළ අතර පවත්නා චක්‍රලේඛ හා ප්‍රතිපත්ති ඒ සඳහා ප්‍රමාණවත් බව සාකච්ඡා විය.

මෙවර වෙන් කළ සියලුම ප්‍රතිපාදනයන් දරුවන්ගේ අධ්‍යාපන අභිවෘද්ධිය වෙනුවෙන් සිදු කෙරෙන ගුණාත්මක හා සාධනීය ව්‍යාපෘති සඳහා වැයකර අදාළ සංවර්ධන කටයතු සිදු කරන බව අගමැතිවරිය සඳහන් කළාය.

වැඩ අවසන් නොකළ පාසැල් ගොඩනැඟිලිවල වැඩ අවසන් කිරීම සිදු කළ යුතු බවත් එම ගොඩනැඟිලිවල අවශ්‍යතාව නැවත සමාලෝචනය කිරීම මෙන්ම සනීපාරක්ෂක පහසුකම් ඇතුළු අවම අවශ්‍යතාවලින්වත් සමන්විත වන පරිදි අවශ්‍ය නම් නැවත සැලසුම් සකස් කළ යුතු බවත් අගමැතිවරිය අවධාරණය කළාය.

අවුරුදු 13න් ඉහළ සියලු ගැහැනු දරුවන් සඳහා සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට වව්චර්පතක් ලබා දීම කටයුතු කරන බවත් නිසි පරිදි එම බැහැර කිරීම සඳහා සුදුසු ක්‍රමවේදයන් පාසල් තුළ ස්ථාපනය කිරිම ද අවශ්‍ය බවත් අගමැතිවරිය පැවැසූවා.

ක්‍රීඩා පාසල් 05ක් දිවයින පුරා පිහිටුවීමට කටයුතු කරන අතර විධිමත් අධ්‍යාපන පරිසරයත් තුළ සිසු දරුවන්ගේ පෝෂණය ඇතුළු ක්‍රීඩකයන් සදහා අවශ්‍ය සියලු පහසුකම් සහිතව ඉදි කරනු ලැබේ.

විශේෂ අවශ්‍යතා සහිත දරුවන්, ආබාධිත දරුවන් මෙන්ම ඉගෙනුම් දුෂ්කරතා ඇති දරුවන් වෙනුවෙන් විශේෂ පහසුකම් ඇති කිරීම හා පාසල් දරුවන් සඳහා යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වා ගැනීම වෙනුවෙන් යහපත් මනෝ සමාජීය පරිසරයක් පාසල තුළ නිර්මාණය කිරීම ඇතුළු කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කෙරිණි.

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පළිහවඩන, උතුරුමැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස යන මහත්වරුන්, රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

නුවන් කොඩිකාර