නැඟෙනහිර දුම්රිය මාර්ගයේ දී වනඅලින් දුම්රියේ ගැටීම අවම කර ගැනීමට කෘත්‍රිම බුද්ධිය (Artificial intelligence) භාවිත කරමින් නව උපකරණයක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය මඟින් නිපදවා තිබේ. දුම්රියේ සවි කරන කැමරාවක් මඟින් මීටර් 500ක් පමණ ඉදිරියෙන් දුම්රිය මාර්ගයේ සිටින වනඅලියකු නිරීක්ෂණය කළ හැකි ලෙස මේ උපකරණය නිෂ්පාදනය කර තිබෙන බව ඉංජිනේරු පීඨයේ පීඨාධිපති මහාචාර්ය ලිලන්ත සමරනායක මහතා කීය.
මීටර් 500කට එහා දුරක පවතින වස්තු නිරීක්ෂණය කළ හැකි ආකාරයේ කැමරා වෙළෙඳපොළේ නැති බවත් මේ නිසා අදාළ දුර ආවරණය කර ගැනීමට කෘත්‍රිම බුද්ධිය යොදා ගනමින් නව උපකරණයක් නිෂ්පාදනය කළ බවත් ඒ මහතා කීය.
වනඅලින් දුම්රියේ ගැටීමෙන් අලි මරණයට පත්වීම මෙන්ම මේ අනතුරු නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට ද විශාල මූල්‍ය අලාභයක් සිදු වන බවත් කී සමරනායක මහතා, වනඅලින් දුම්රියේ ගැටීම වළක්වා ගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය 2020 වසරේ සිට පරීක්ෂණ කළ බව ද පැවසීය.
ඒ අනුව නැඟෙනහිර දුම්රිය මාර්ගයේ වනඅලින් නිතර දුම්රියේ ගැටෙන ස්ථාන නිරීක්ෂණය කර එම ස්ථානවල කැමරා සවි කර එමඟින් ලබාගන්නා දත්ත විශ්ලේෂණය කර දුම්රිය රියැදුරුට ලබාදීමට උපකරණයක් සකස් කළ බවත් එම උපකරණ සොරාගැනීමේ අවදානමක් පැවතීම නිසා ඒ වෙනුවට දුම්රියේ සවි කරන උපකරණයක් සම්බන්ධයෙන් අවධානය යොමු වූ බවත් මහචාර්යවරයා ප්‍රකාශ කළේය.
කාර්, බස් මෙන් දුම්රිය ක්ෂණිකව නතර කළ නොහැකි බැවින් අවම තරමින් මීටර් 500ක පමණ දුරක් තිබිය දී වස්තුව හඳුනා ගැනීමට හැකි වුවහොත් දුම්රිය නතර කර ගැනීමේ හැකියාව පවතින බව දුම්රිය රියැදුරන් පෙන්වා දීමෙන් පසු පරීක්ෂණ වෙනතකට යොමු කරමින් නව උපකරණය නිපදවූ බව ද සමරනායක මහතා කීය.
දැනට වෙළෙඳපොළේ පවතින කැමරාවලින් මීටර් 500ක පමණ දුරක ඇති වස්තුවක් හඳුනා ගැනීමට නොහැකි නිසා කෘත්‍රිම බුද්ධිය සම්බන්ධ කර ගනිමින් එම අඩුව සපුරාගත් බවත් නව උපකරණය දුම්රියේ සවි කිරීමෙන් පසු අඳුරු ආලෝක තත්ත්වයක දී වුවද රියැදුරාට දුම්රිය මාර්ගය හරහා ඇති වස්තුව සම්බන්ධයෙන් සංඥා ලැබෙන බවත් පීඨාධිපතිවරයා පැවසීය.
දුම්රිය දෛනිකව ගමන් ගන්නා වේලාව සම්බන්ධයෙන් වනඅලින්ට යම් අවබෝධයක් තිබෙන බව වනඅලි දුම්රියේ වැඩිපුර ගැටෙන ප්‍රදේශවල ජනතාව පවසන බවත් අනතුරු සිදුවූ බොහෝ අවස්ථාවල දුම්රිය පැමිණ තිබෙන්නේ ප්‍රමාද වී බව ඔවුන් පෙන්වා දෙන බවත් මහාචාර්යවරයා ප්‍රකාශ කළේය. නව උපකරණයේ නිරවද්‍යතාව 83 % ක පමණ මට්ටමක පවතින බවත් එය 90 % කට වැඩි අගයක් දක්වා ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවත් කී ඒ මහතා මෙය දුම්රියේ සවි කර පරීක්ෂණ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇතැයි ද අවධාරණය කළේය.
මේ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබුණේ වනඅලි හය දෙනෙකුට මරු කැඳවමින් පසුගියදා දුම්රිය අනතුරක් සිදුවූ දින බව ද ඒ මහතා කීය.
අසේල කුරුළුවංශ