-තෙවැනි වර ඡන්ද විමසීම මාර්තු 21දා
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් ඇමැතිවරයා ලෙස පසුගියදා (17) ඉදිරිපත් කරන ලද මංගල අය-වැය යෝජනාවලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (25) සවස පැවති දෙවැනි වර ඡන්ද විමසීමේදී ජාතික ජන බලවේගය ආණ්ඩුවේ තුනෙන් දෙකක විශේෂ බහුතර මන්ත්‍රී බලය ද ප්‍රදර්ශනය කරමින් වැඩි ඡන්ද 109කින් සම්මත විය. ඒ අනුව 2025 වසර සඳහා වන අය-වැය දෙවැනි වර කියවීම වැඩි ඡන්ද 109කින් සම්මත වූ බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. අය-වැයට පක්ෂව ඡන්ද 155ක් සහ විරුද්ධව ඡන්ද 46ක් ලැබුණු අතර, අය-වැය ඡන්ද විමසුම සිදුවන අවස්ථාවේ මන්ත්‍රීවරුන් 23ක් සභා ගර්භයේ නොසිටියහ. සමගි ජන බලවේගය, ඉලංකෙයි තමිල් අරසු කච්චි, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු අය-වැයට විරුද්ධව ඡන්දය භාවිත කළහ. 2025 අය-වැය පළමු වර කියවීම පසුගිය ජනවාරි 09 වැනිදා සිදු කළ අතර, අය-වැය දෙවැනි වර කියවීම හෙවත් අය-වැය කථාව ඉදිරිපත් කිරීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා (17) සිදු කළේය. පසුගියදා (18) සිට ඊයේ (25) දක්වා දින 07ක් අය-වැය දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්විණි. 2025 අය-වැය තෙවැනි වර කියවීම හෙවත් අය-වැය කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (27) ආරම්භ වන අතර, එය ලබන මාර්තු 21 දා දක්වා පැවැත්වේ.
ස්වර්ණා විජේකෝන්,
සන්ධ්‍යා කරුණාරත්න