පානීය ජල බෝතල් 6800ක් විනාශ කිරීමට උසාවි නියෝග

ශ්‍රී ලංකා ප්‍රමිති ලාංඡනය ව්‍යාජ ලෙස මුද්‍රණය කළ වෙළෙඳපොළට නිකුත් කර තිබූ රුපියල් මිලියනයකට වැඩි වටිනාකමක් ඇති පානීය ජල බෝතල් 6800ක් විනාශ කිරීමට පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියම කළේය.ජල බෝතල් නිෂ්පාදනය කර වෙළෙඳපොළට නිකුත් කිරීමට ගබඩා කර තිබූ පූගොඩ,දන්ගල්ල පෞද්ගලික සමාගමට සහ එහි බදු ගැනුම්කාර සමාගමේ අධ්‍යක්ෂවරයකුට හා කළමනාකරුවකුට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ තුනක දඩ මුදලක් නියම කිරීමට ද මහේස්ත්‍රාත්වරයා පසුගියදා (22) නියම කළේය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් පසුගිය ඔක්තෝබර් මස කරන ලද වැටලීමකට අදාළව කරනු ලැබූ නඩු පැවරීමක් විභාග කරමින් මහේස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කර ඇති අතර ඒ අනුව අදාළ පානීය ජල බෝතල් තොගයෙන් ජලය ඉවත් කර හිස් බෝතල් ප්‍රතිචක්‍රීයකරණයට යොමු කරනු ලැබීය.

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ SLS ලාංඡනය ව්‍යාජ ලෙස යොදා ගනිමින් අසත්‍ය නියෝජනයක් කර පාරිභෝගිකයා නොමඟ යැවීමටත්, රැවටීමටත් තුඩු දෙන ආකාරයෙන් කටයුතු කිරීම යන චෝදනා දෙකක් යටතේ අදාළ නඩුව පැවරීම කර තිබිණි.

වෙළෙඳපොළේදී පරිභෝගිකයන්ට සිදුවන අසාධාරණය වැළැක්වීමටත් මෙවැනි ක්‍රියා මඟින් පාරිභෝගිකයන් නොමඟ යැවීමට සහ රැවටීමට කටයුතු කරන වෙළෙඳුන් සම්බන්ධව නිරන්තර අවධානයෙන් සිටිමින් ඔවුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව පාරිභෝගික අධිකාරිය දැනුම් දෙයි.

මලිඳු තෙන්නකෝන්