කෙහෙළියගේ අත්හිටුවූ දේපළ ලේඛනවල සහතික කළ පිටපත් නීතිඥයෝ ඉල්ලති

හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට සහ ඔහුගේ පවුලේ උදවියට අයත්, අත්හිටුවන ලද දේපළවලට අදාළ සියලු ලේඛනවල සහතික කළ පිටපත් දෙන ලෙස වගඋත්තරකරුගේ නීතිඥයෝ මෝසමක් ගොනු කරමින් ඊයේ (24දා) අධිකරණයෙන් ඉල්ලා සිටියහ. එම කරුණු දැක්වීම සලකා බැලූ කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා ගාස්තුවට යටත්ව එම ලේඛන වගඋත්තරකරුවන්ට නිකුත් කිරීමට රෙජිස්ට්‍රාර්වරියට නියෝග කළේය. වගඋත්තරකාර චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල මහත්මිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාංචන රත්වත්ත මහතා මෙම මෝසම ගොනුකර සිටියේය.

කොළඹ මහාධිකරණය විසින් හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලට අයත් රුපියල් ලක්ෂ 200කට අධික වටිනාකමක් සහිත ජංගම සහ ස්ථාවර බැංකු තැන්පතු ගිණුම් 2ක් අත්හිටුවා ඇත. මෙයට අමතරව හිටපු ඇමැතිවරයාට සහ ඔහුගේ පවුලේ උදවියට අයත් තවත් ස්ථාවර තැන්පතු ගිණුම් 16ක්, රක්ෂණ ඔප්පු 3ක් මේ වන විට අත්හිටුවා තිබේ. ඒවායේ වටිනාකම රුපියල් 9,71,25,000ක් බව කොමිසම පෙන්වා දෙයි.

2023 අංක 9 දරන අල්ලස් හෝ දූෂණ විරෝධී පනතේ 53(1) වැනි වගන්තිය අනුව මුදල් විශුද්ධිකරණය නමැති වරද සිදු කිරීමේ චෝදනාව යටතේ හිටපු ඇමැති කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල, ඔහුගේ බිරිය වන කුසුම් ප්‍රියදර්ශනී ඈපා වීහේන සහ දරුවන් වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල, චනුලා රමාලී රඹුක්වැල්ල, අමාලී නයනිකා රඹුක්වැල්ල හා බෑණා වන ඉසුරු පුලස්ති බණ්ඩාර පොල්ගස්දෙණිය යන අයට අයත් දේපළ මෙම නියෝගය අනුව අත්හිටුවා තිබේ.