ත්‍රිවිධ හමුදාවෙන් පලා ගිය සියලු දෙනා වහාම අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා නියෝග කර තිබේ. ඒ අනුව දැනට නීත්‍යනුකූලව සේවයෙන් ඉවත් වී නොමැතිව සේවය හැර ගිය සියලු ත්‍රිවිධ හමුදා සෙබළුන් මෙලෙස අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.
රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පසුගිය 22 වැනිදා පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ එවැනි පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට මීට කෙටි කාලයකට පෙර විධානයක් දුන් බවයි.
මෑත කාලයේ සිදුවූ අපරාධ රැසකට ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය සාමාජිකයන් සම්බන්ධවී තිබීම ඇතුළු කරුණු කිහිපයක් මත මෙම නියෝගය නිකුත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. පසුගිය වසරක පමණ කාලයක තුළ සිදුවූ අපරාධ කිහිපයක වෙඩික්කරුවන් ලෙස කටයුතු කර ඇත්තේ ආරක්ෂක අංශවලට සම්බන්ධවී සිටී පුද්ගලයන්ය. පසුගිය 21 වෙනිදා කොටහේනේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු වූයේද යුද හමුදාවේ සිට 2015 වසරේ ඉවත්වූ අයෙකි.
ඉකුත් 19 වෙනිදා ගණේමුල්ල සංජීවගේ ඝාතකයාවූ කොමාන්ඩෝ සමිඳු යුද හමුදාවේ හිටපු කොමාන්ඩෝ සෙබළකු වූ අතර ගණේමුල්ල සංජීවගේ ඝාතනයට ආධාර අනුබල දීම හේතුවෙන් මීගමුවේ සහ අතුරුගිරියේ පොලිස් ස්ථානවල පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන තිබේ.
මිද්දෙණියේ කජ්ජා නමැත්තා සහ ඔහුගේ දරුවන් දෙදෙනා ඉකුත් 18 වෙනිදා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයකු සහ මියගිය කජ්ජා සතුව තිබූ අත්විලංගුව ඔහුට ලබාදීම සම්බන්ධයෙන් යුද හමුදා සාමාජිකයන් දෙදෙනකුද අත්අඩංගුවට ගෙන ඇත.
පසුගිය 08 වෙනිදා ගල්කිස්ස පොලිසියේ සේවය කළ පොලිස් කොස්තාපල්වරයකු එහි අවි ගබඩාවෙන් ටී56 ගිනිඅවියක් සහ උණ්ඩ තිහක් සහිත පතරොම් ගැබක් රැගෙන ගොස් තිබූ අතර ඔහුට ආධාර අනුබල දුන් තවත් කොස්තාපල්වරයකුද අත්අඩංගුවට ගෙන තිබේ.
ඉකුත් ජනවාරි 19 වෙනිදා ගල්කිස්ස සිරිපාල මාවගේ සිදුවූ පුද්ගල ඝාතනයේ වෙඩික්කරු වි ඇත්තේද යුද හමුදාවෙන් පලා ආ පුද්ගලයෙකුය.
මෙවැනි හේතුන් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කිරීමට ආරක්ෂක ලේකම්වරයා කටයුතු කර තිබේ.
රක්ෂණ ශ්‍රියන්ත