මුදල් අමාත්‍යාංශයේ වාහන 176ක් අතුරුදන්-99ක තොරතුරු කිසිවක් නෑ

2023 විගණන වාර්තාවකින් හෙළිවෙයි

මුදල් අමාත්‍යාංශය නමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති වාහන 257කින් වාහන 176ක භෞතික පැවැත්ම තහවුරු වී නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

2023 වර්ෂයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබා ගත් තොරතුරු අනුව මෙම වාහනවල භෞතික පැවැත්ම තහවුරු නොවන බව හෙළිව තිබේ. එම වාහන අතරින් 99ක භෞතික පැවැත්ම ඇතුළු තොරතුරු කිසිවක් විගණනය වෙත ඉදිරිපත් නොකෙරුණු බව ද එම වාර්තාවේ සඳහන්ව ඇත. මෙම වාහන 176 සම්බන්ධයෙන් තොරතුරු සොයා ගැනීමට කටයුතු කරමින් පවතින බව ප්‍රධාන ගණන්දීමේ නිලධාරිවරයා විගණනයට සඳහන් කර තිබේ. අමාත්‍යාංශය නමින් ලියාපදිංචි වී ඇති සියලු වාහන පිළිබඳ භෞතික පැවැත්ම හා අයිතිය තහවුරු කර ගැනීමට කටයුතු කළ යුතුව ඇතැයි විගණනය නිර්දේශ කර තිබේ. මීට අමතරව 2023 දෙසැම්බර් 31 වැනි දින වනවිට මුදල් අමාත්‍යාංශය සතු වාහන 44ක් වෙනත් ආයතන වෙත නිදහස් කර තිබුණ ද, ඒවා විධිමත්ව පවරා දී නැත.

ඒ ආකාරයට මුදල් අමාත්‍යංශයට වෙනත් ආයතනවලින් වාහන 11ක් පවරාගෙන ඇතත් එය ද විධිමත්ව සිදුකොට නැතැයි එහි වැඩිදුරටත් සඳහන්ය.

රන්මලී සෝමසිරි