ජනාධිපතිවරණ සමයේදී ස්මාර්ට් යූත් ප්‍රදර්ශනය හා සංගීත ප්‍රසංගය වෙනුවෙන් ජාතික තරුණ සේවා සභාව මඟින් රුපියල් මිලියන 188ක් වැය කර ඇති බව පොදු ව්‍යාපාර කාරක සභාවේදී පසුගියදා අනාවරණය කෙරිණි. ජාතික තරුණ සේවා සභාවේ අධ්යක්ෂ මණඩලය ඇතුළු නිලධාරීන් එම කාරක සභාවට කැඳවූ අවස්ථාවේදී මේ බව හෙළි විය. මෙය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රතිරූපය පිම්බීමට ජනතා මුදල් භාවිත කිරීමක් බවට එම කාරක සභාවේ කමිටු සමාජිකයන් තරුණ සේවා සභාවේ අධ්යක්ෂ මණ්ඩලය වෙත චෝදනා කර සිටියහ. ජාතික තරුණ සේවා සභාව පසුගිය වසරේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති 9ක් වෙනුවෙන් රුපියල් මිලියන 535කට වැඩි මුදලක් වැය කර ඇතැයිද මෙහිදී අනාවරණය කෙරිණි. අප්‍රේල් 28 අවුරුදු උත්සවයක් පැවැත්වීමට කටයුතු කළද එය තීරණය කර අනුමත කර ඇත්තේ ජුලි මාසයේ බවත් මිලියන 34ක් ජනාධිපති කාර්යාලයෙන් එයට ලබගෙන තිබෙන බවත් මෙහිදී අනාවරණය විය.
පූර්ව ජනාධිපතිවරණ කාල පරිච්ඡේදයේ ලක්ෂ 20ක් වැය කර ඒ සඳහා ප්රචාරක දැන්වීම මුද්‍රණයක් කර තිබෙන අතර ජනාධිපතිවරණ අපේකෂකයාගේත් මුහුණ යොදා ගනිමින් මේවා මුද්‍රණය කර තිබෙන බවත් මෙහිදී සඳහන් කෙරිණි.
ශබ්ද පද්ධති ඇතුළු අනෙකුත් විදුලි සැපයීම් වෙනුවෙන් ඒ ඒ ආයතනවලට රුපියල් එකළොස්ලක්ෂ පන්සීයයක් හා රුපියල් දහඅට ලක්ෂ විසිනව දාස් පන්සීය බැගින් ගෙවා ඇති අතර ඒ ආයතන ගැන මතකයක් නැතැයි තරුණ සේවා සභාවේ අධ්යක්ෂ මුදල් ධූරයේ කටයුතු කළ නිලධාරියා සභාවේදී පැවසුවේය.
මෙහිදී ටී ෂර්ට් එකක් හාඩ්වෙයාර් එකකින් ලබා ගෙන තිබෙනවා. මෙහි පදනම මොකක්ද, මේ විදිහට මිල ගණන් කැඳවීම කළේ ඇයි. ලක්ෂ 20ක පෝස්ටර් මුද්‍රණය කරලා රනිල් වික්‍රමසිංහ පුම්බන්න තරුණ සේවා සභාවේ සභාපතිවරයා කටයුතු කළේ ඇයි කියන ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගත යුතු බව ද සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතා මෙහිදී පැවසුවේය.
ස්වර්ණා විජේකෝන්, සන්ධ්‍යා කරුණාරත්න