විශේෂ ගණයේ සැකකරුවකු වූ ගණේමුල්ල සංජීව අධිකරණ භූමියේ දී වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද වැලිකඩ සහකාර බන්ධනාගාර අධිකාරිවරයකුගේ ප්‍රධානත්වයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
ඒ අනුව පෙරේදා (19) ගණේමුල්ල සංජීව නමැති සැකකරු අධිකරණය වෙත රැගෙන යාමේ දී ආරක්ෂණය කළ බන්ධනාගාර නිලධාරින්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම ඊයේ (20) සිදු කළ බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රකාශක) ගාමිණී බී. දිසානායක මහතා පැවැසීය.
මියගිය සැකකරුගේ මෘත දේහය පිළිබඳව පශ්චාත් මරණ පරික්ෂණ කටයුතුවල දී බන්ධනාගාර දෙපාර්තමේන්තු පාර්ශ්වය නියෝජනය කිරීම සඳහා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ජේලර්වරයකු නම් කර ඇත. කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය මඟින් මූලික විමර්ශනයක් ද මේ වනවිට ආරම්භ කර තිබේ.
විශේෂ ගණයේ සැකකරුවකු වන බැවින් ප්‍රමාණවත් ආරක්ෂාවක් යටතේ බන්ධනාගාර නිලධාරීන් භාරයේ, බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්රමික බළකා නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ බූස්ස බන්ධනාගාරයේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ 2025.02.19 (පෙරේදා) දින කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බව ද දිසානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.