2024දී සුනඛ සපාකෑම් 184,926ක්

සුනඛයන් සපාකෑම හේතුවෙන් පසුගිය 2024 වසරේදී පුද්ගලයන් 184,926ක් ප්‍රතිකාර ගෙන තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ ( 20) ප්‍රකාශ කළේය.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේ, ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්රාන් මහරෑෆ් මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. සුනඛයන් සපාකෑමෙන් රෝගී වන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම සඳහා වාර්ෂිකව රුපියල් කෝටි 85-100ක් දක්වා මුදලක් වැය කරන්නට සිදු වන බවත් හෙතෙම කීවේය.

ගිය වසරේ දී වැඩිපුරම සුනඛ සපාකෑම් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බව ද ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 4035 දෙනකු සුනඛයන්ගේ සපාකෑමට ලක්ව ඇති බව ද පෙන්වා දෙයි. ඒ අතරින් 3275 දෙනෙක් අයාලේ යන සුනඛයන්ගේ සපාකෑමට ද 759 දෙනෙක් ගෘහස්ථ සුනඛයන්ගේ සපාකෑමට ද ලක්ව ඇති බව ඇමැතිවරයා පැවසීය.

එමෙන්ම ගැහැනු සතුන් 30,881 වන්ධ්‍යකරණයට ලක්කර ඇති අතර, සුනඛයන් 1,151,350ක් එන්නත් කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට මෙන්ම ඒ හා අදාළ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.