මහජන විශ්වාසය ගොඩනැඟීමට මනා පුහුණුව ලත් නිපුණ රාජ්‍ය අංශයක් ගොඩනැඟිය යුතුයි

යහපාලනය ශක්තිමත් කිරීම සහ මහජන විශ්වාසය ගොඩනැඟීම සඳහා මනා පුහුණුවලත් නිපුණ රාජ්‍ය අංශයක වැදගත්කම අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය අවධාරණය කළාය.

යහපාලනය සඳහා වූ ජාතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් සහ ඉන්දීය දූත පිරිසේ ප්‍රධානී ආචාර්ය Surendrakumar Bagde මහතා සහ ශ්‍රී ලංකා අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය අතර පාර්ලිමේන්තුවේදී පැවති හමුවේදී අගමැතිවරිය මේ බව සඳහන් කළාය.

රට තුළ පාලනයේ ගුණාත්මකභාවය සහ සේවා සැපයීම වැඩිදියුණු කිරීම සඳහා ව්‍යුහගත ධාරිතා සංවර්ධන වැඩසටහන්වල අවශ්‍යතාව ද අගමැතිනිය අවධාරණය කළාය.

දත්ත සහ තොරතුරු මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනය, පර්යේෂණ මත පදනම් වූ පාලනය, දත්ත මත පදනම් වූ තීරණ ගැනීම සහ තාර්කික ප්‍රතිපත්ති සම්පාදනය ඇතුළු පුහුණු වැඩසටහනේ ප්‍රධාන අවධානය යොමු කළ ක්ෂේත්‍ර පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහන් දියත් කිරීමට NCGG හි සහයෝගිතාව ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම හමුවේදී මූලික වශයෙන් සාකච්ඡාවට ගැනිණි.

මේ සඳහා NCGG සහ Sri Lanka Institute of Development Administration (SLIDA) අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම ද මෙහිදී සිදුකෙරිණ.

වඩාත් ඵලදායී, කාර්යක්ෂම සහ පුරවැසි කේන්ද්‍රීය රාජ්‍ය සේවා සැපයීම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ වෘත්තීය හැකියාවන් ඉහළ නැංවීම කෙරෙහි මෙම රැස්වීමේදී අවධානය යොමුවිය.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ විකාශනය වන අවශ්‍යතාවන් සපුරාලීම සඳහා පුහුණු මොඩියුල සකස් කරන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම වැඩසටහනේ අනුවර්තනය වීමේ හැකියාව අවධාරණය කළේය.

රටේ පරිපාලන භූ දර්ශනයට අදාළ විශේෂිත මාතෘකා ඇතුළත් කිරීමේදී වැඩසටහනට නම්‍යශීලී බවක් ලබා දෙන බව ඒ මහතා අවධාරණය කළේය.