අධික උෂ්ණත්වය සහිත දිනවල පාසල් දරුවන් එළිමහනේ ක්‍රියාකාරකම්වල යෙදීම වළක්වමින් පාසල් පද්ධතිය වෙත නිර්දේශ නිකුත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
ඒ අනුව මේ දිනවල රටේ පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය මත ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය මඟින් සියලු පළාත් අධ්‍යාපන ලේකම්වරුන් හා අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතාගේ අත්සනින් යුතුව නිර්දේශ නිකුත් කර තිබේ.
පාසල් විවේක කාලයේදී දැඩි හිරු එළිය සහිත එළිමහනේ ගත කිරීම සහ ක්‍රීඩා කිරීමෙන් වැළකීම, වැඩිපුර ජලය පානය හා වෙහෙස නිවා ගැනීමට කෙටි විවේක කාල දෙකක් ලබාදීම, දහවල් අධික උෂ්ණත්වය සහිත කාලයේදී අත්‍යවශ්‍ය නොවන අවස්ථාවලදී සිසුන් පිටතට ගෙනයෑමෙන් වැළකීම, ප්‍රාදේශීය මට්ටමින් පවතින උෂ්ණත්වය, කාලගුණ තත්ත්වයන් සලකා බලා නිවාසාන්තර ක්‍රීඩා තරග හා පුහුණුවීම් කටයුතු සැලසුම් කිරීම යනාදී කාරණා මේ නිර්දේශයේ ඇතුළත් කර තිබේ.
දහදිය දැමීම නිසා ඇති වන විජලනය හා ලවණ ඉවත්වීම නිසා ඇති වන මස්පිඬු පෙරළීම, අධික උෂ්ණත්වය මත ඇති වන අධික මහන්සිය, ශරීරයේ උෂ්ණත්ව නියාමන ක්‍රියාවලිය අඩපණවීම නිසා ඇති වන ආඝාත තත්ත්වය යනාදී කාරණා සම්බන්ධයෙන් සහ එවැනි තත්ත්වයන්වලදී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මේ නිර්දේශවල ඇතුළත් වේ.