පාතාල ක්‍රියාකාරකම්, කුඩු ජාවාරම සහ අපරාධ ආදිය මර්දනය සඳහා අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) අවධාරණය කළේය.
පාතාලය, කුඩු ජාවාරම මෙන්ම කළු සල්ලි ආදි ක්ෂේත්‍ර අංශ ගණනාවක් සමඟ දැඩිව බද්ධ වී ඇති බවත් මෙම සියලු අපරාධ මර්දනය වෙනුවෙන් ආණ්ඩුව මේ මොහොත වන විටත් ක්‍රියාමාර්ග ගණනාවක් අනුගමනය කරමින් සිටින බවත් ඇමැතිවරයා පැවසීය.
ඇතැම් පිරිස් මෙරට සිට මෙන්ම විදෙස් රටවල සිටිමින් විවිධ අපරාධ මෙහෙයවන බවත් විශේෂ කාර්ය බළකාය, පොලීසිය මෙන්ම බුද්ධි අංශ ද යොදවමින් අපරාධ මර්දනය සඳහා උපරිම මැදිහත්වීම සිදුකරන බවත් ඇමැතිවරයා පැවසීය.
අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේ අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළ ගණේමුල්ලේ සංජීව නම් තැනැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
“පාතාලයේ මේ කටයුතු සම්බන්ධයෙන් ආණ්ඩුව සීරියස්ලි කල්පනා කරනවා. ඒ නිසා මේ මොහොතේ අරගනිමින් සිටින කරුණු ගණනාවකුත් තිබෙනවා. විපක්ෂයේ මන්ත්‍රීවරුත් දන්නවා, කළු සල්ලි, කුඩු, පාතාලය ආදි දේවල් තවත් ක්ෂේත්‍ර ගණනාවක් සමඟ සම්බන්ධයි. මේ ජාවාරම්, අපරාධ සිදුකරන සමහර අය ඉන්නෙත් ලංකාවේ නෙවෙයි. හොයාගෙන යනකොට ඔබතුමාලා දන්නවා ඇති සමහර තැන්වලදී ආරක්ෂක අංශ සාමාජිකයන් ද සම්බන්ධ වී තිබෙනවා. යම් ක්‍රියාමාර්ග ප්‍රමාණයක් අරගෙන තිබෙනවා. විශේෂයෙන්ම විශේෂ කාර්ය බළකාය සහ පොලීසිය, බුද්ධි අංශ යොදවා තිබෙනවා. මේ දේවල් සම්බන්ධයෙන් ගැඹුරින් සහ දැඩි අවධානයෙන් අවශ්‍ය කඩිනම් පියවර ගන්නවා යැයි ද හෙතෙම කීවේය.