අයි. එම්. එෆ්. අයවැයක් නොවේ: රටට සුබදායි අයවැයක්-මහ බැංකු අධි­පති, ආචාර්ය නන්ද­ලාල් වීර­සිංහ

රටේ පාල­නය වෙනස් වුවද මෙතෙක් පව­ත්වා­ගෙන ආ සාර්ව ආර්ථික ප්‍රති­ප­ත්ති­වල දිශා­න­තීන් වෙනස් නොකර වත්මන් රජය ද කට­යුතු කිරීම සුබ­වාදී කරු­ණක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධි­පති, ආචාර්ය නන්ද­ලාල් වීර­සිංහ මහතා ප්‍රකාශ කරයි.

මහ බැංකු අධි­ප­ති­ව­රයා මේ බව පැවැ­සුවේ 2025 අය-වැය සම්බ­න්ධ­යෙන් පෙරේදා (18) කොළ­ඹදී පැවති සාක­ච්ඡා­ව­ක­දීය.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ මහ බැංකු අධි­ප­ති­ව­රයා මෙලෙස ද පැව­සු­වේය.

“රට නිවැ­රදි මාව­තට ගෙන යෑමට මේ අය-වැය සකස් කර තිබෙ­නවා. මේ ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ අය-වැයක් නොව රටට හිත­කර අය-වැයක්.

මෙවර ඉලක්ක දෙස බැලු­වාම ඒ පිළි­බඳ වැඩි විශ්වා­ස­යක් තබන්න පුළු­වන්. රුපි­යල් ට්‍රිලි­යන පහක ආදා­යම් ඉල­ක්ක­යක් සහ සිය­යට 2.3ක ප්‍රාථ­මික අති­රි­ක්ත­යක් අපේක්ෂා කළත්, මගේ අපේ­ක්ෂාව අනුව එය ප්‍රමා­ණය ඉක්මවා ගිය ක්‍රියා­කා­රි­ත්ව­යක්. රජයේ සුරැ­කු­ම්පත් සඳහා වූ කෙටි කාලී­නව පැන නඟින පීඩ­නය අව­ශෝ­ෂ­ණය කර­ගැ­නී­මට ආර­ක්ෂණ යෙදීම ද වැද­ගත්. එම­ඟින් අපේ මූල්‍ය ප්‍රති­ප­ත්තිය අනුව ස්ථාවර පොලී අනු­පාත පව­ත්වා­ගෙන යෑමට හැකි­යා­වක් ලැබේවි. ඇතැ­මුන් කියන විදි­හට IMF අය-වැයක් ගැන කතා කළොත්, වසර ගණ­නක් පුරා IMF සාක­ච්ඡා­ව­ලට සහ­භාගී වූ අයකු හැටි­යට මේ වතාවේ රටක් විදි­හට සමස්ත ආර්ථික ස්ථාව­ර­ත්ව­යක් උදෙසා නිවැ­රදි මාර්ගයේ ගමන් කිරී­මට බාහිර පාර්ශ්ව­ක­රු­වන්ට දී ඇති ප්‍රතිඥා වෙනස් වී නැති බව මට කියන්න පුළු­වන්.

පරි­පා­ල­නයේ වෙන­සක් සිදු­වු­වත් සාර්ව ආර්ථික ප්‍රති­ප­ත්ති­වල දිශා­න­තිය වෙනස් නොවීම සතු­ටට කරු­ණක්. මගේ අද­හසේ හැටි­යට එය අනි­වා­ර්ය­යෙන් සිදු විය යුත්තක්. ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දලේ සමස්ත ආර්ථික ස්ථාව­ර­ක­රණ වැඩ­ස­ට­හනේ පරා­මිති අනුව කට­යුතු කිරීම රජයේ වග­කී­මක්. එය සුබ­වාදී ලකු­ණක්. මම දකින විදි­හට මේක IMF අය-වැයක් නොවෙයි. රටට හොඳ අය-වැයක්.”

මුදල් අමා­ත්‍යාං­ශයේ ලේකම් මහින්ද සිරි­ව­ර්ධන මහතා,

“ජන­තා­වගේ බදු මුදල් විය­දම් කිරීම ඉතා­මත් සැල­කි­ල්ලෙන් කළ යුතු වෙනවා. ජන­තා­වගේ බදු මුදල් විය­දම් කිරී­මේදී සෑම රුපි­ය­ල­ක­ටම නිසි වටි­නා­ක­මක් ලැබෙන බවට සහ­තික කළ යුතුයි. මේ සන්ද­ර්භය තුළ දළ දේශීය නිෂ්පා­දි­ත­යෙන් සිය­යට 13ක් වූ නීති­මය විය­දම් සීමාව නාස්තිය අවම කර­මින් පරෙ­ස්ස­මෙන් ක්‍රියා­ත්මක කළොත් සැල­කිය යුතු වටි­නා­ක­මක් ගැනී­මට එය භාවිත කළ හැකියි.

රජ­යට ඇති මූල්‍ය සීමා සැල­කි­ල්ලට ගනි­මින් දුන් ජන­ව­ර­මට අනු­කූල වන පරිදි නව රජය මෙරට ප්‍රධාන ප්‍රමු­ඛතා ක්ෂේත්‍ර සඳහා සැල­කිය යුතු සම්පත් ප්‍රමා­ණ­යක් වෙන් කර තිබෙ­නවා. මෙවර අය-වැයෙන් සමාජ ආර­ක්ෂ­ණය සඳහා රුපි­යල් බිලි­යන 749ක් වෙන්කර තිබෙ­නවා. එයින් අස්වැ­සුම වෙනු­වෙන් වෙන් කර ඇති මුදල් ප්‍රමා­ණය ඉහළ දමා තිබෙ­නවා.

මහ­ජන සෞඛ්‍ය සේවා සඳහා රුපි­යල් බිලි­යන 604ක් සහ අධ්‍යා­ප­නය සඳහා රුපි­යල් බිලි­යන 619ක් වෙන් කර තිබෙ­නවා. තවද රුපි­යල් බිලි­යන 483ක් පොදු ප්‍රවා­හ­නය සහ ප්‍රවා­හ­නය සම්බන්ධ යටි­තල පහ­සු­කම් සංව­ර්ධ­නය වෙනු­වෙන් වෙන් කර තිබෙ­නවා. එය මෙරට ජන­තා­වගේ ජීවන තත්ත්වය ඉහළ දැමී­මට අත්‍ය­වශ්‍ය අංශ­යක්.

මේ මූල්‍ය ප්‍රති­ප­ත්තිය මඟින් රජයේ ආදා­යම දළ දේශීය නිෂ්පා­දි­ත­යෙන් සිය­යට 15.1 අව­ශ්‍ය­තාව සපුරා ගැනී­මට හැකි­යාව ලැබෙයි කියා විශ්වා­ස­යක් පව­ති­නවා. මෙවර අය-වැයෙන් රජයේ මූල්‍ය ප්‍රති­ප­ත්තිය සම්බ­න්ධ­යෙන් වැඩි ප්‍රමා­ණ­යක් අනා­ව­ර­ණය කර තිබෙ­නවා. 2022දී මෙරට උද්ධ­ම­නය සිය­යට 70ක් දක්වා ඉහළ ගිය අව­ස්ථාවේ උද්ධ­ම­නය පහ­ළට ගෙන ගෙන ඒමට පොලී අනු­පාත ඉහළ දැමී­මට සිදු වුණා. රජයේ ණය ගැනීමේ පිරි­වැය සැල­කිය යුතු ලෙස වැඩි වුණා. 2004 වසරේ මූලික මූල්‍ය දත්ත අනුව දළ දේශීය නිෂ්පා­දි­ත­යෙන් සිය­යට නව­යක පමණ ඉහළ පොලී පිරි­වැ­යක් දැරී­මට සිදුව තිබෙ­නවා.”