පාකිස්තානු නාවික හමුදාව විසින් නවවැනි වරටත් සංවිධාන කරනු ලැබූ ‘අමාන් – 2025 (AMAN – 2025)’ බහු පාර්ශ්වික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව, එම අභ්‍යාසය සාර්ථකව නිමා කරමින් පෙරේදා (17 ) කොළඹ වරායට පැමිණියේය. එහිදී විජයබාහු නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි. කලාපීය සහයෝගිතාව, ස්ථාවරත්වය සහ අන්තර් ක්‍රියාකාරිත්වය ප්‍රවර්ධනය කිරීම සහ මුහුදු මංකොල්ලකෑම් ඇතුළු සමුද්‍රීය ත්‍රස්තවාදය සහ අපරාධ සඳහා සාමූහිකව ප්‍රතිචාර දැක්වීමේ අරමුණින් ‘අමාන්’ බහු පාර්ශ්වික අභ්‍යාසය පාකිස්තානු නාවික හමුදාව විසින් 2007 වර්ෂයේදී ආරම්භ කර ඇත. ඒ අනුව 2025 වර්ෂයේ පෙබරවාරි මස 10 වැනි දින සිට 14 වැනි දින දක්වා පාකිස්තානයේ කරච්චි අගනුවර සහ අරාබි මුහුද කේන්ද්‍ර කර ගනිමින් පැවති අමාන් – 2025 බහු පාර්ශ්වීක අභ්‍යාසය සඳහා රාජ්‍යයන් 11ක් නියෝජනය කරමින් යුද නෞකා 22ක්, සබ්මැරීන 02ක් මෙන්ම ගුවන් යානා ද එක්විය.
කලාපීය හා කලාපීය නොවන විදෙස් නාවික හමුදාවන් රැසක් සහභාගී වූ මේ බහුපාර්ශ්වික සාගරික අභ්‍යාස සඳහා සහභාගීවීම මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාවට කලාපීය නාවික හමුදාවන් සමඟ අන්තර් ක්‍රියාකාරීත්වය සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කර ගැනීම, සාගරික මෙහෙයුම් සම්බන්ධ නව දැනුම, ක්රමෝපායන් හා අත්දැකීම් හුවමාරු කර ගැනීම, නව අභියෝග හඳුනා ගැනීම සහ ඒ සඳහා සාමුහිකව විසඳුම් සෙවීමට හැකිවීම වැනි ප්රතිලාභ රැසක් හිමිවනු ඇත.