විජය කුමාරතුංග කියන්නේ බලය වෙනුවෙන් ප්‍රතිපත්ති පාවා නොදුන් නායකයෙක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ විජය කුමාරතුංග මහතාගේ 37 වැනි ගුණ සමරුව කොළඹ නව නගර ශාලාවේදී ඉකුත්දා (15) පැවැති උත්සවයට එක් වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේද කීවේය.
විජය කුමාරතුංග මහතා නිර්ව්‍යාජ චරිතයක්. කලා ක්ෂේත්රයේ ඉහළම තලයට ගියා වගේම මුළු රටම පිළිගත් ජනප්‍රිය සිනමා නළුවෙක්. ඔහුට අතිවිශිෂ්ට ගුණාංග රැසක් තිබුණා. අවංක පිරිසුදු නිර්ව්‍යාජ චරිතයක් නිසාම හදවතේ තිබූ සෑම අදහසක්ම එළිපිට ප්‍රකාශ කළා. වාසි සහගත යැයි සිතුණු අවස්ථාවල බලය වෙනුවෙන් ප්‍රතිපත්ති පාවා දුන්නේ නෑ.
පොදුජනතාවගේ දුක දැක ගත යුතු ක්‍රියාමාර්ග නොපැකිළිව ගන්නා පාලනයක් රටට අවශ්‍යයි. විජය කුමාරතුංග මහතා දේශපාලනය කළ කාලයේ සෑම ප්‍රධාන දේශපාලන පක්ෂයකින් ඔහුට පහර ගැසුවත් ඔහු නොසැලී කටයුතු කළා. නිර්භීත ලෙස අධිෂ්ඨානශීලීව, කාර්යක්ෂම, කාර්යශූරව ඉලක්ක සම්පූර්ණ කරන්න සෑම පරිත්‍යාගයක්ම කළා.

මානව අයිතිවාසිකම් ලෙස සලකන්නේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පමණක් වුවත් මානව අයිතිවාසිකම්වලට පුළුල් පරාසයක් තිබෙනවා. ආර්ථික, සමාජීය, සංස්කෘතික අයිතිවාසිකමක්ම තිබිය යුතුයි. අධ්‍යාපනය, සෞඛ්‍ය, කෘෂිකර්මාන්තය, කර්මාන්ත ක්ෂේත්රයේ වැඩ කරන ජනතාව කර්මාන්තකරුවන් ආදී සෑම දෙනාගේම අයිතීන් ආරක්ෂා කරන්න පුළුල් අර්ථකථනයක් ඇති මානව අයිතිවාසිකම් පිළිගත යුතුයි. විජය කුමාරතුංග මහතා හදපත්ලෙන්ම එය පිළිගත් නායකයෙක් වෙනවා යැයි කීවේය.
එජාප සභාපති වජිර අබේවර්ධන මහතා – මම මෙතැන වාඩිවෙලා ඉන්න අවස්ථාවේදී මට මතක් වුණා අතීතයේ පාර්ලිමේන්තුව. එදා මගේ වම් අත පැත්තේ හිටියේ ඔසී අබේගුණසේකර. එතුමා අද ජීවතුන් අතර නැහැ. මගේ දකුණු අත පැත්තේ හිටියේ ගාමිණි විජේසේකර මහතායි. එතුමා අද ජීවතුන් අතර නැහැ. පුටුවක් එහායින් හිටියා ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු. එතුමා තොටළඟ බෝම්බයට අහු වෙලා කෙසේ හෝ වේදිකාවෙන් විසිවුණු නිසා අද ජීවතුන් අතර ඉන්නවා.
අපි අද මේ කතා කරන විජය කුමාරතුංග මහතා මිය යන්නෙත් අකාලයේ. අෂ්රොෆ් උඩුගුවනේදී නැති වෙනවා. නීලම් තිරුචෙල්වම් වෙඩි කාලා මැරෙනවා. අමිර්තලිංගම්, ලක්ෂ්මන් කදිරගාමර් මේ අයත් අකාලයේ වෙඩි කාලා මියැදෙනවා.
දේශපාලන පක්ෂ නියෝජිතයිනුත් මේ ගැන හොඳ අවබෝධයෙන් සිටිය යුතු වෙනවා. අපි එකමුතුකමක් ගැන කතා කරනවා. ඒත් අපි ඉන්නේ කොතැනද? බලන්නකෝ අපේ ජාතික නායකයෝ කිසි කෙනෙක් අද ජීවතුන් අතර නැහැ. ඔබ කල්පනාවෙන් මේ රටේ දේශපාලනය කළයුතුයි. අපි ජාතියක් ලෙස කල්පනාවෙන් වැඩ නොකළොත් ශ්‍රී ලංකාවේ අනාගතය අඳුරුයි.
ශ්‍රී ලංකා ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන, හිටපු ඇමැතිවරු වන තිස්ස විතාරණ, මහින්ද අමරවීර, ඩලස් අලහපෙරුම, ජී.එල්. පීරිස්, සාගල රත්නායක මහත්වරුද මේ අවස්ථාවට සහභාගි වූහ.