බදුල්ල කොළඹ කොටුව අංක 1006 දරණ පොඩිමැණිකේ දුම්රියේ ගමන් ගත් රුසියානු ජාතික විදේශික සංචාරක කාන්තාවක අද (19) උදෑසන බදුල්ල හාලිඇල දුම්රිය ස්ථානය අතර දී දුම්රියේ පාපුවරුවේ එල්ලී සෙල්ෆි ජායාරූප ගැනීමට යාමේදී ගල්පර්වතයක ගැටී දුම්රියෙන් ඇද වැටී බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගිය බව හාලිඇල පොලිසිය පවසයි .
පර්මිනෝවා ඔල්ගා (perminova Olga) නැමති 53 හැවිරිදි රුසියානු ජාතික විදේශික සංචාරක කාන්තාවක මෙසේ මියගිය බවද පොලිසිය කීය .
ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා තවත් විදේශීය සංචාරකයන් පිරිසක් සමඟ මෙරටට පැමිණ මෙම කාන්තාව අද උදෑසන බදුල්ල දුම්රිය ස්ථානය ට පැමිණ ඇය බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1006 දරන පොඩිමැනිකේ දුම්රියේ නැග ඇල්ල බලා ගමන් කරමින් සිටියදී මෙසේ අනතුර ට මුහුණ පා ඇතැයි පොලිසිය සදහන් කළේය .
පොඩිමැනිකේ දුම්රියේ පාපුවරුවේ එල්ලී සෙල්ෆි ජායාරූප ගැනිමට යාමේදී මැය දුම්රිය මාර්ගය අසල වේල්ලක ගල්පර්වත යක ගැටීමෙන් දුම්රියේ න් ඇද වැටී ඇති බවත් ඇය පසුව එම දුම්රියේ දමා ගෙන හාලිඇල දුම්රිය ස්ථානය ට ගෙනවිත් බාර දුන් බවද පොලිසිය පැවසීය .
බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා ඇතුලු වෛද්‍යවරුන් සෞඛ්‍ය කාර්ය මංඩලය කඩිනමින් ප්‍රතිකාර ලබා දුන්නද පසුව රුසියානු ජාතික විදේශික සංචාරක කාන්තාව මියගිය බවද බදුල්ල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සදහන් කළේය .