පුංචි ඡන්දය අය-වැයෙන් පසු තියන්න-විපක්ෂ නායක මැතිවරණ කොමිසමෙන් ඉල්ලයි

අය-වැයෙන් පසුව පළාත් පාලන මැතිවරණය පවත්වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර ඇත.

පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂ සියලු මන්ත්‍රීවරු ඊයේ (18) මැතිවරණ කොමිසමට පැමිණ එහි නියෝජිතයන් හමුවී සාකච්ඡාවක නිරත වූහ.

එම සාකච්ඡාව නිමවීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා පැවසුවේ මාර්තු 21 වැනිදායින් පසුව මැතිවරණ වැඩසටහනට යොමුවන ලෙස කොමිසමෙන් ඉල්ලා සිටින බවය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එහිදී මෙසේ ද පැවසුවේය.

විවිධ කණ්ඩායම් මැතිවරණය කල් දමන්න අහනවා, ඉල්ලනවා කියලා කතාබහක් ඇතිව තිබෙනවා. මේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය අතිශය සංකීර්ණ දෙයක්. අලුතින් පාර්ලිමේන්තුවට ආව අයට මේවා මහ ලොකු දේවල් ලෙස නොපෙනුණත් ඒවා ගැන ඔවුන් දන්නේ නැතිනම් පොත්පත් කියවා අවබෝධ කර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. රජයට සම්බන්ධ පාර්ශ්ව මැතිවරණ කොමිසම රූකඩයක් ලෙස සලකන්න කටයුතු කරනවා. ආණ්ඩුවට මැතිවරණ පවත්වන දින නාමයෝජනා දෙන දින ආදිය තීරණය කරන්න බැහැ. ආණ්ඩුවේ අය මේවා පටලවාගෙන තිබෙනවා.

වසර ගණනින් පළාත් පාලන මැතිවරණය කල් දමන විට සමගි ජන බලවේගය අධිකරණයට ගොස් මැතිවරණය පැවැත්විය යුතු බවට අධිකරණ ක්‍රියාදාමය ඉටු කරමින් ප්‍රමුඛතම කාර්යභාරය ඉටු කළා. පැරණි නාමයෝජනා මත තිබූ ගැටලුකාරී තත්ත්වය මත ඒවා අවලංගු කර නව නාමයෝජනා වැඩපිළිවෙළකට ප්‍රවේශ විය යුතුය යන්නට සියලු දෙනා කොන්දේසි විරහිතව සහයෝගය දුන්නා.

විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 66ක් සහ පක්ෂ රාශියක් තිබෙනවා. අය-වැය ක්‍රියාදාමය තුළ විශාල කාර්යභාරයක් විපක්ෂයටත් පැවැරී තිබෙනවා. මේ වන විට අය-වැය දෙවැනි වර විවාදය පවත්වා 25 වැනිදා ඡන්දය විමසීමට නියමිතයි. ඉන්පසු කමිටු හා කාරක සභා අවස්ථා ක්‍රියාත්මක වෙනවා.

රක්ෂණ ශ්‍රියන්ත