පාකිස්තානයේ රාවල්පිණ්ඩි නුවරට හදිසි නියඟ අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇතැයි එරට ඩෝන් පුවත් සේවය වාර්තා කරයි. නගරයේ ජල හා සනීපාරක්ෂක ඒජන්සිය විසින් මේ හදිසි අවස්ථාව ප්‍රකාශයට පත් කරනු ලැබුවේ
ලබන මාර්තු අවසානය දක්වා වර්ෂාපතනය අපේක්ෂා කළ නොහැකි බවට පාකිස්තානයේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කළ අනතුරු ඇඟවීම හේතුවෙන් බවද ඩෝන් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරයි.
උද්ගත වී ඇති තත්ත්වය මත සිය ජල පරිහරණය අවම කරගන්නා ලෙස ලක්ෂ 24කට වැඩි රාවල්පිණ්ඩි නුවර පදිංචිකරුවන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වේ.
රාවල්පිණ්ඩි නුවර ජල හා සනීපාරක්ෂක ඒජන්සියේ කළමනාකාර අධ්‍යක්ෂ මොහොමඩ් සලීම් ඩෝන් පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ වේගයෙන් ඉහළ යන ජනගහනය සහ විවිධ වාණිජ කටයුතු සඳහා අවශ්‍ය ජල සම්පත් සීමිත වී ඇති බැවින් මේ පියවර ගත් බවය. පසුගිය මාස තුනක කාලය තුළ එම පළාතට ප්‍රමාණවත් වර්ෂාවක් නොලැබීම නිසා අනවශ්‍ය ලෙස ජලය භාවිත කිරීම සහ නාස්තිය වැළැක්වීමට ජල සංරක්ෂණ වැඩසටහනක් ද ක්‍රියාත්මක කර ඇතැයි ඩෝන් පුවත් සේවය සඳහන් කළේය. ඒ අනුව මෝටර් රථ සේදීම සහ නිවාසවල ජලනළ මාර්ග කාන්දුවීමකදී සිදුවන ජල නාස්තියට එරෙහිව පාරිභෝගිකයන්ට දඩ මුදලක් නියම කිරීමට ද පියවර ගෙන තිබේ. රාවල්පිණ්ඩි නගරවාසීන්ට දෛනිකව ගැලුම් මිලියන 68ක ජලය අවශ්‍ය වන බවත්, පවතින තත්ත්වය තුළ ඉල්ලුම සහ සැපයුම අතර විශාල පරතරයක් මතු වී ඇති බවත් වාර්තා වේ.