මාලදිවයින් විදේශ කටයුතු ඇමැති අද මෙරටට පැමිණේ

ශ්‍රී ලංකා – මාලදිවයින් මිතුදම තවදුරටත් ශක්තිමත් කර ගනිමින් තෙදින නිල සංචාරයක් සඳහා මාලදිවයින් විදේශ කටයුතු ඇමැති අබ්දුල්ලා කලීල් මහතා අද (18) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

එළඹෙන 21දා දක්වා මෙරට රැඳී සිටින මාලදිවයින් විදේශ ඇමැතිවරයා සිය සංචරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අගමැතිනී අචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඊට අමතරව මාලදිවයින් විදේශ ඇමැතිවරයා සහ ඔහුගේ දූත පිරිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේදී විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා සමඟ නිල ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇත.

මාලදිවයින් විදේශ කටයුතු ඇමැති අබ්දුල්ලා කලීල් මහතා සමඟ ශ්‍රී ලංකාවට පැමිණෙන දූත කණ්ඩායමට එරට විදේශ ලේකම් ෆාතිමාත් ඉනායා මහත්මිය ඇතුළු පිරිසක් අයත් වෙති.

මහින්ද අලුත්ගෙදර