කාන්තා යොවුන් පිලේ නායිකාව සහ උපනායිකාව ජාතික සංචිතයට

අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් නායිකා මනුදි නානායක්කාර සහ උප නායිකා රශ්මික සෙව්වන්දි පළමු වරට ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් සංචිතයට කැඳවා තිබේ.

නවසීලන්තයේ සංචාරයකට එක්වීමට නියමිත කාන්තා ක්‍රිකට් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ නිවේදනය කළ අතර, චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩිකාවන් 16 දෙනා අතරට මනුදි සහ රශ්මිකා එක්කර තිබේ.

මොරටුව වේල්ස් කුමරි විදුහල් ක්‍රීඩිකාවක වන 17 හැවිරිදි මනුදි පසුගිය මස නිමාවූ අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේදී 5 වැනි ස්ථානය හිමිකර ගැනීම සඳහා ශ්‍රී ලංකා පිල මෙහෙය වූවාය. එම කණ්ඩායමේ උපනායිකාව ලෙස කටයුතු කළේ මාතර අනුර විදුහලේ 18 හැවිරිදි රශ්මිකා සෙව්වන්දිය. ඊට අමතරව මොනරාගල දුටුගැමුණු මධ්‍ය විදුහලේ 23 හැවිරිදි චේතනා විමුක්ති ද පළමු වරට ජාතික සංචිතයට කැඳවා තිබීම විශේෂත්වයකි. ඇය මොනරාගල කාන්තා ඇකඩමියේ වේග පන්දු යවන්නියක ලෙස ක්‍රීඩා කරයි.

මාස 8කට පසු 23 හැවිදිරි පිතිකාරිනියක වන ඉමේෂා දුලානිට ද යළි අවස්ථාව හිමිව තිබේ.

මේ ක්‍රීඩිකාවන්ගේ එක්වීමත් සමඟ අවසන් වරට පසුගිය වසරේ කාන්තා විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට එක්වූ හසිනි පෙරේරා, ඉනෝකා රණවීර, ශෂිනි ගිම්හානි සහ අමා කාංචනාට ස්ථාන අහිමි වී තිබේ.

ශ්‍රී ලංකා පිල මේ 22 වැනිදා මෙරටින් පිටත්ව යන අතර, තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය ලබන මස 4 වැනිදාත්, තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය ලබන මස 14 වැනිදාත් ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, නිලක්ෂි ද සිල්වා, කවීෂා දිල්හාරි, අනුෂ්කා සංජීවනී, මනුදි නානායක්කාර, ඉමේෂා දුලානි, අචිනි කුලසූරිය, උදේශිකා ප්‍රබෝධනී, සචිනි නිසංසලා, කෞෂානි නුත්‍යාංගනා, ඉනෝෂි ප්‍රනාන්දු, සුගන්ධිකා කුමාරි, රශ්මිකා සෙව්වන්දි, චේතනා විමුක්ති.

නිරෝෂාන් ප්‍රියංකර