අප්‍රේල් සිට තවත් රාජ්‍ය ආයතන 30කට GovPay ඔස්සේ ගෙවීමට අවස්ථාව

2025 අප්‍රේල් මාසයේ සිට ශ්‍රී ලංකාවේ තවත් රාජ්‍ය ආයතන 30කට GovPay හරහා ගෙවීම් සිදුකිරීමට පහසුකම් සලසන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පවසයි.

රාජ්‍ය ආයතන 15ක් සඳහා දැනටමත් GovPay හරහා ගෙවීම් කිරීමට පහසුකම් සලසා ඇති බව ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා ප්‍රකාශ කළේය.

පෙබරවාරි 14 වැනිදා පමණක් මෙම ආයතන සඳහා GovPay හරහා සිදු කර ඇති ගනුදෙනු සංඛ්‍යාව 300,000 ඉක්මවූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

එසේම මෙම යෙදුම මහජනතාව අතර ජනප්‍රියත්වයට පත්ව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය වීරරත්න සඳහන් කළේය.

මීට අමතරව, තවත් බොහෝ රාජ්‍ය ආයතන GovPay හා සම්බන්ධ වීමට කැමැත්ත පළ කර ඇති බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.