අධික වියලි කාලගුණය නිසා ජලය ප්‍රවේසමෙන් භාවිතා කරන්න

අධික වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් ජල මූලාශ්‍රයන්හී ජල මට්ටම ශීඝ්‍රයෙන් පහළ බසිමින් පවතින හෙයින් අත්‍යාවශ්‍ය දෛනික කටයුතුවලට පමණක් ජලය භාවිතා කරන ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දැනුම්දෙයි.

පවතින උෂ්ණාධික තත්ත්වය නිසා ජනතාවගේ ජල පරිභෝජනය ඉතා ඉහළ මට්ටමක පවතින නමුත් පානීය ජල සැපයුම සීමා සහිත  වන බවත්,  එය සැමගේ අත්‍යවශ්‍ය පානීය හා සනීපාරක්ෂක කටයුතුවලට සමසේ බෙදා හැරිය යුතුව ඇති බවත් මණ්ඩලය පවසයි.

මෙවැනි තත්ත්වයන් යටතේ පාරිභෝගික ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවයන් සපුරාලීමේදී උස් බිම් ප්‍රදේශවල ජල පාරිභෝගිකයන් වෙත ජලය බෙදා හැරීමේදී අඩු පීඩන තත්ත්වයක් ඇති විය හැකි ය.

කෙසේ වුවත් මෙම වියලි කාලගුණික තත්ත්වය නිසා ජනතාවට මුහුණ දීමට සිදුවී තිබෙන අපහසුතාවයන් අවම කිරීමට මණ්ඩලය උපරිමව කටයුතු කරන හෙයින් වාහන සේදීම, ගෙවතු වගාව වැනි කටයුතු සඳහා ජලය භාවිත කිරීම අවම කොට සෞඛ්‍ය ආරක්ෂිත පානීය ජලය හැකිතාක් දුරට අර පිරිමැස්මෙන් භාවිතා කරන ලෙස මණ්ඩලය පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලා සිටියි.

(රන්මලී සෝමසිරි )