අගමැතිනිය කිළිනොච්චි ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක

මොරටුව ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය යටතේ ක්‍රියාත්මක වන කිළිනොච්චියේ පිහිටි ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ නිරීක්ෂණ චාරිකාවක අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය පෙරේදා (16) නියැළුණේය.

වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණක් වන අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තීය අධ්‍යාපනය සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ යටතේ වෘත්තීය නිපුණතාව ලබා දෙන ආයතනවල ගැටලු පිළිබඳ නිරීක්ෂණය කිරීමේ අරමුණින් අගමැතිවරිය ජර්මාණු කාර්මික අභ්‍යාස ආයතනය වෙත පැමිණියාය.

නිලධාරීන් සමඟ පැවති සාකච්ඡාවේදී පුහුණු ආයතනයේ පවත්වන පාඨමාලා, අධ්‍යයන සහ අනධ්‍යයන සේවක ගැටලු, පුහුණුලාභීන් මුහුණ දෙන යටිතල පහසුකම් පිළිබඳ ගැටලු නේවාසික ගැටලු ඇතුළු කිළිනොච්චිය ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනයේ පවතින ගැටලු සහ සංවර්ධනය විය යුතු අංශ පිළිබඳ මෙහිදී අවධානය යොමු කෙරිණි.

ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 4, 5 සහ 6 යටතේ පුහුණු ශ්‍රමිකයන් රැකියා වෙළඳපොළට යොමු කිරීමේ වැදගත්කම සහ ඒ සඳහා වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ පවතින, ආයතනික සහ පරිපාලන ගැටලු පිළිබඳවත්, පවතින නීතිමය ගැටලු පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

අනතුරුව අධ්‍යයන පහසුකම්, නේවාසික පහසුකම් සහ පුහුණුලාභීන් මුහුණ දෙන ගැටලු කෙරෙහි අවධානය යොමු කරමින් අදාළ ස්ථාන වෙත ගොස් නිරීක්ෂණය කිරීමටද අගමැතිවරිය මෙහිදී කටයුතු කළාය.

උතුරු පළාත් ආණඩුකාර එන්. වේදනායගම්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහත්වරුන් ඇතුළු මොරටුව හා කිළිනොච්චිය ජර්මානු කාර්මික අභ්‍යාස ආයතන නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

නුවන් කොඩිකාර, උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ