හංවැල්ල නගර මැද හතරමං හංදියේ මාර්ග සලකුණු මැකී ගිහින්

සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ, හංවැල්ල නගර මධ්‍යයේ ප්‍රධාන මාර්ගයේ සටහන් කර ඇති කොටු සහිත මාර්ග සලකුණු මැකී යෑම හේතුවෙන්, එම ස්ථානය ඉතාමත් අනතුරුදායක අනාරක්ෂිත ස්ථානයක් බවට පත්ව ඇතැයි රියදුරන් මෙන්ම ජනතාව ද පෙන්වා දෙති.

සිව්මංසලක් වූ මෙම ස්ථානයේ කොළඹ – රත්නපුර – නිට්ටඹුව හා හයිලෙවල් මාර්ගයට මාර්ග විහිදී ඇත. රථවාහන පොලිස් නිලධාරීන් කලාතුරකින් දැක ගත හැකි මෙම ස්ථානයේ පෙරවරු කාලයේ හා පස්වරු කාලයේ දැඩි රථවාහන තදබදයක් ද පවතී. ජනතාව පෙන්වා දෙන්නේ, මෙම ස්ථානයේ මාර්ග සලකුණු මෙලෙස මැකී යෑමෙන් රියැදුරන් පවා එම ස්ථානයේ පවතින අනාරක්ෂිතභාවය කෙරෙහි කිසිදු අවධානයක් යොමු නොකරන බවයි.

මෙලෙස සිව්මංසලේ මැකී ගොස් ඇති කොටු සහිත මාර්ග සලකුණු නැවත මාර්ගයේ සටහන් කර දෙන මෙන් ඔවුහු වගකිවයුතු අංශවලින් ඉල්ලා සිටිති.

පාදුක්ක සමූහ – රෙක්සි වෙත්තසිංහ