ලුණුගම්වෙහෙර සිට කොළඹ බලා ධාවනය වූ අර්ධ සුඛෝපභෝගී බස් රථයක් පෙරේදා (15) අලුයම පානදුර මගී ගුවන් පාලම යට පෙරළී යෑමෙන් තිදෙනකු රෝහල්ගත කර ඇති බව පානදුර දකුණ පොලීසිය පැවසීය.
මෙසේ රෝහල්ගත කර ඇත්තේ බසයේ ගමන්ගත් අඹුසැමි යුවළක් සහ තවත් පුද්ගලයකු බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
බස් රථයේ පසුපස රෝදවල සිදු වූ කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇතැයි පරීක්ෂණ සිදු කරන පොලීසිය සඳහන් කළේය. අනතුර සිදු වන අවස්ථාවේ බස් රථයේ මගීන් 50කට වැඩි පිරිසක් සිට ඇති අතර, අනතුරෙන් බස් රථයට ද හානි සිදුව තිබේ. බස් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශය පරීක්ෂණ පවත්වයි.
පානදුර සංචාරක – සුමිත් ප්‍රේමතිලක, අලුත්ගම – තුසිත කුමාර ද සිල්වා