‘එක මිටට – ගොවි බිමට’ ජාතික වැඩසටහන ආරම්භය පසුගිය 15දා පොල්ගහවෙල හොදැල්ල ජයසුන්දරාරාම පුරාණ විහාරය ඉදිරිපිට කුඹුරු යායේ දී කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් යූ. බී. රෝහණ රාජපක්ෂ, නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු ගොවිජන සංවර්ධන නිලධාරීන්, කෘෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන්, කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රාජ්‍ය ආයතන නිලධාරීන්, ගොවි ජන සංවිධාන නිලධාරීන් සහ ප්‍රදේශයේ ගොවි ජනතාවගේ සහභාගීත්වයෙන් මෙය ආරම්භ කෙරිණි.
ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා අඛණ්ඩව ආහාර සංචිතයක් රට තුළ පවත්වා ගෙන යා යුතුය. දේශීය ආහාර පරිභෝජනයට අමතරව කෘෂි භෝග ආශ්‍රිත අපනයන ආදායම ඉහළ නැංවීම සහ රට තුළ කෘෂිකාර්මික භෝග නිෂ්පාදන මට්ටම ඉහළ නැංවීම සඳහා වගා නොකරන සියලුම කුඹුරු සහ ගොඩ ඉඩම් වගා කරවීමට ගොවි ජනතාව දැනුම්වත් කිරීම “එක මිටට – ගොවි බිමට” ජාතික වැඩසටහන මඟින් සිදු කරයි.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ උපදෙස් මත ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ගොවිජන සේවා බලප්‍රදේශ 566ක් තුළ ක්‍රියාත්මක කෙරේ.
වගා නොකරන කුඹුරු සහ ගොඩ ඉඩම්වල ඉඩම් හිමියන්, භුක්තිකරුවන් සහ වගාකරුවන් වෙත තමන්ට අයත් ඉඩම වගා කරන ලෙස දන්වමින් ගෙයින් ගෙට ගොස් දැනුම්වත් කිරීම සඳහා නිවේදන පත්‍රිකාවක් ලබා දීමට නියමිතය. දැනුම්වත් කිරීම මෙම 15 දින ආරම්භ කර පෙබරවාරි 23 දක්වා සිදු කරනු ඇත. මේ සඳහා දේශපාලන නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් සහ ගොවි සංවිධාන නිලධාරීන් සහභාගිවීමට නියමිතය.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ උපදේශකත්වය යටතේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්ව ඇතුළු කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සියලුම රාජ්‍ය ආයතනවල දායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ඇත.
බුද්ධිකා ඉඹුලාන