යුද හමුදා වෛද්‍ය කණ්ඩායමක් සාමසාධක රාජකාරිවලට පිටව යයි

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි සඳහා දකුණු සුඩානයේ ක්‍රියාත්මක දෙවන මට්ටමේ රෝහලේ රාජකාරි භාර ගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බළකායේ 11 වැනි යුද හමුදා වෛද්‍ය කණ්ඩායම ඉකුත්දා (13) මෙරටින් පිටත් වූ බව ශ්‍රී ලංකා යුද හමුදා මාධ්‍ය ඒකකය පවසයි.

මේ සඳහා යුද හමුදා නිලධාරීන් 16 දෙනකු, නාවික හමුදා නිලධාරීන් දෙදෙනකු ඇතුළු සෙසු නිලයන් 46 දෙනෙකු ඇතුළුව හමුදා සාමාජික සාමාජිකාවන් 64 දෙනකුගෙන් සමන්විතය.

මෙම කණ්ඩායමේ අණ දෙන නිලධාරීවරයා ලෙස ලුතිනන් කර්නල් ආර්.එම්.ඩී.බී රාජපක්ෂ යූඑස්පී සහ දෙවන අණ දෙන නිලධාරී ලෙස කේ.ඩී.පී.ඩී.ඊ.ඒ. විජේසිංහ කටයුතු කරන බව පැවසේ.

මෙරටින් පිටත් වූ 11 වැනි යුද හමුදා වෛද්‍ය බළකායට සුබ පැතීම සඳහා යුද හමුදාපතිතුමන් නියෝජනය කරමින් ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බළකායේ බළකාධිපති සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජනරාල් ඩී.කේ.එස්.කේ. දොලගේ යුඑස්පී, යුද හමුදා වෛද්‍ය බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ඒ.යූ. එස් වනසේකර ආර්ඩබ්ලිව්පී යූඑස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීහු පිරිසක් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණ සිටියහ.

කොට්ටාව – ප්‍රදීප් කුමාර