ජාතීන් අතර සහෝදරත්වය ගොඩනඟන පෙරහර සංස්කෘතිය රැකගනිමු-ගංගාරාම නවම් පෙරහරට එක්වෙමින් විපක්ෂ නායක කියයි

ජාතීන් අතර සහෝදරත්වය, සංහිඳියාව සහ සාමය ගොඩනඟන පෙරහර සංස්කෘතිය රැකගත යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ 45 වැනි වතාවටත් වීදි සංචාරය කළ ගංගාරාම නවම් පෙරහර අවස්ථාවට පෙරේදා (12) එක්වෙමිනි.

ගලගොඩ ඥාණීස්සර පොඩි හාමුදුරුවන්ගේ අදහසක් මත එවක රණසිංහ ප්‍රේමදාස අගමැතිවරයාගේ මැදිහත්වීමෙන් ආරම්භ වූ ඓතිහාසික නවම් පෙරහර 45 වැනි වතාවටත් ඉතා උත්කර්ෂවත් අන්දමින් රාජ්‍ය, රාජ්‍ය නොවන හා සිවිල් සමාජයේ දායකත්වයෙන් පවත්වන බව විපක්ෂ නායකවරයා පැවසීය.

මෙවන් පෙරහර මංගල්‍යයක අපේක්ෂාව, ප්‍රාර්ථනය, බලාපොරොත්තුව වන්නේ රටටත් ජනතාවටත් සෙතක් ශාන්තියක් උදාවීමයි. ජනතාවට සෙත සලසනවා සේම සම්බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා පෙරහර මංගල්‍යය සංස්කෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතුයි. මේ පෙරහර සංස්කෘතියෙන් නිර්මාණය වන දහම් පණිවිඩය, සහෝදරත්වය, ජනතාව අතර මිත්‍රශීලීත්වය හා එකමුතුභාවය ව්‍යාප්ත කරමින් අප රට දැහැමි යුක්තිගරුක ගුණගරුක ජන සමාජයකින් හෙබි උතුම් රටක් බවට පත් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ පෙරහර ජාතික පමණක් නොව ජාත්‍යන්තර ක්‍රියාදාමයක් බවට පත් කරන්න නායකත්වය ලබා දුන් ගංගාරාමයේ අස්සජී නාහිමියන් ඇතුළු සියලු දෙනාට තමාගේ ස්තූතිය පුද කරන බවත් විපක්ෂ නායකවරයා මෙහිදී පැවසීය.

රක්ෂණ ශ්‍රියන්ත