හිටපු මන්ත්‍රී කුලසිංහම් තිලීපන් ඉන්දියාවේදී අත්අඩංගුවට

ඊ.පී.ඩී.පී. සංවිධානය නියෝජනය කළ වන්නි දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රී කුලසිංහම් තිලීපන් ඉන්දියාවේ තමිල්නාඩු පොලීසිය විසින් පෙරේදා (12) අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාවේ සිට චෙන්නායි බලා ගොස් ඇති හිටපු මන්ත්‍රීවරයා එහි සිට වෙනත් ගමන් බලපත්‍රයකින් යුරෝපා රටකට යාමට වීසා ලබාගැනීමට ගිය අවස්ථාවේදී ඔහුව කේරළයේ කොචි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබිණි.

විදෙස් ගමන් බලපත්‍ර‍ දෙකක් භාවිත කිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාව බව සඳහන් වෙයි.

මේ පිළිබඳ තොරතුරු හෙළි වීමෙන් පසුව තමිල්නාඩු පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

තමිල්නාඩු පොලීසිය විසින් හිටපු මන්ත්‍රීවරයාව කේරළයේ අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහුව භූපාල් බන්ධනාගාරයේ රඳවා තබන ලෙස පොලීසියට නියෝග කොට ඇතැයි ද වාර්තා වෙයි.

හිටපු මන්ත්‍රී තිලීපන් වවුනියාව පොලීසිය විසින් ද මීට මාස දෙකකට ඉහතදී අත්අඩංගුවට ගත් අතර ඊට හේතුව වූයේ වවුනියාවේ පුද්ගලයකුට ඉඩමක් දීම පිණිස රුපියල් ලක්ෂ 30ක මුදලක් ලබා ගෙන එය වංචා කිරීමේ සිද්ධියකි.

එහිදී ඔහු විසින් ලබා ගත් මුදල වාරික දහයකින් ගෙවීමට වවුනියාව අධිකරණයේදී පොරොන්දු වීමෙන් පසුව අධිකරණය ඔහුව ඇප මත නිදහස් කොට තිබිණි.

උතුරු පළාත් විශේෂ- රසුල දිල්හාර ගමගේ