පොලිස් ස්ථානාධිපතිවරුන් 85 දෙනකුට ස්ථාන මාරුවීම් දෙමින් අලුතින් පත් කළ පොලිස් ස්ථානාධිපතිවරුන් අතර ප්‍රධාන පොලිස් පරීක්ෂිකාවක ද සිටියි.
කැලණිය පොලිස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ පෞද්ගලික සහකාර ලෙස සේවයේ නිරතව සිටි ඇය කාන්චනා සමරකෝන් මහත්මියයි. ඇයව පත් කර ඇත්තේ මීගමුව පොලිස් කොට්ඨාසයේ පිහිටි දුන්ගල්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිනිය ලෙසිනි. ඇය අද (13) එම තනතුරේ වැඩ භාරගනී.
ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව තුළ දිවයින පුරා පොලිස් ස්ථාන 607ක් ස්ථාපිතය. නව පත්කිරීමත් සමඟ දුන්ගල්පිටිය පොලිස් ස්ථානය හැරුණු කොට දිවයිනේ සෙසු පොලිස් ස්ථාන 606ම සේවයේ නිරතව සිටින ස්ථානාධිපතිවරුන් පිරිමි නිලධාරීන්ය. ඒ අනුව ශ්‍රී ලංකා පොලීසියේ එකම පොලිස් ස්ථානාධිපතිනිය වන්නේ කාන්චනා සමරකෝන් මහත්මියයි.
කාන්තා නිලධාරිනියන්ට පොලිස් ස්ථානාධිපති ධුර දිය යුතු යන සංකල්පය මත 2021 වසරේදී එවකට සිටි පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් ගම්පහ පොලිස් කොට්ඨාසයේ පිහිටි නාල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිනිය ලෙස ඇයව පත්කරනු ලැබීය. නාල්ල පොලිස් ස්ථානය 2021 වසරේ නොවැම්බර් 21 වැනිදා විවෘත කිරීමත් සමඟ එහි පළමු ස්ථානාධිපතිනිය ලෙස ඇයව පත්කරනු ලබන්නේ ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ කාන්තා නිලධාරිනියක පොලිස් ස්ථානාධිපති ධුරය දරන දෙවැනි අවස්ථාව සනිටුහන් කරමිනි. ඊට පෙර 1997 වසරේදී යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති ලෙස පද්මිණි නමැති නිලධාරිනියක සේවයේ නිරතව සිට ඇති බව පොලිස් තොරතුරු සඳහන් කළේය.
නාල්ල පොලිස් බලප්‍රදේශයේ දූෂණ වංචා අපරාධ මැඬපවත්වමින් ප්‍රදේශවාසීන් හා පොලීසිය අතර යහපත් සම්බන්ධතාවක් පවත්වාගෙන යමින් ජනතා ප්‍රසාදයට කාන්චනා සමරකෝන් මහත්මිය ලක්වුවත් ඇයට වසරකට වඩා පොලිස් ස්ථානාධිපති ධුරය දැරීමට ඉඩක් නොවීය. ඒ ඇය නීතියට අනුව ඍජුව වැඩ කිරීම හේතුවෙනි. 2022 වසරේ මැයි 18 වැනිදා නාල්ල පොලිස් ස්ථානාධිපති ධුරයෙන් ඇයව ඉවත් කර කැලණිය කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි කටයුතු සඳහා පත්කරනු ලැබීය.
එතැන් සිට කැලණිය පොලිස් කොට්ඨාසයේ සේවයේ නිරතව සිටි ඇය නැවතත් පොලිස් ස්ථානාධිපතිනියක ලෙස පත්කරනු ලබන්නේ තවත් කාන්තා නිලධාරීන් පිරිසකට පොලිස් ස්ථානාධිපති ධුර දැරීමට අවකාශයක් සලසමිනි.
ඇය ශ්‍රී ලංකා පොලිස් සේවයට එක් වන්නේ 1997 වසරේදීය. ඒ ශ්‍රී ලංකා පොලීසියට කාන්තා උප පොලිස් පරීක්ෂකවරියන් ස්ථිර සේවයට බඳවා ගත් පළමු කණ්ඩායමේ සාමාජිකාවක ලෙසිනි.
කෑගල්ල හෙම්මාතගම උපන් ඇය කෑගල්ල බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇත.
හලාවත, වවුනියාව, ගම්පහ, මීරිගම, නිට්ටඹුව යන පොලිස් ස්ථානවල සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු විවිධ අංශවලත් ඇය සේවය කර තිබේ.
ඇගේ සැමියා ද ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු වන අතර ප්‍රභූ ආරක්ෂක රාජකාරියේ ඔහු සේවය කරයි.
ගයාන් කුමාර වීරසිංහ