කැන්ගරුවන් පරදා සිංහයෝ පෙරට එති අසලංකගේ ආශ්චර්යමත් ඉනිම ශ්‍රී ලංකා ජයග්‍රහණයට මඟ පාදයි

ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයකු එක්දින තරගයකදී ලබාගත් ඉහළම ලකුණු

189 (පන්දු 161)

සනත් ජයසූරිය, ඉන්දියාවට එරෙහිව සාජා 2000දී

139 (පන්දු 116)

ඇන්ජලෝ මැතිව්ස්, ඉන්දියාවට එරෙහිව රංචි – 2014දී

131 (පන්දු 152)

අර්ජුන රණතුංග, ඉන්දියාවට එරෙහිව කොළඹ-1997දී

127 (පන්දු 126)

චරිත් අසලංක, ඕස්ට්‍රේලියාවට එරෙහිව – කොළඹ -2025දී

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් නායක චරිත් අසලංකගේ තනි උත්සහයෙන් ඔපවත් වූ ඔස්ට්‍රේලියාවට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 49ක ජයක් හිමිකර ගත්තේය. කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති තරගයේ ජය හිමිකර ගැනීමත් සමඟ තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණෙට පැමිණියේය. 2022දී මේ ක්‍රීඩාංගණයේදීම ඔස්ට්‍රේලියාව ලකුණු 4කින් පරාජය කිරීමෙන් වසර 3කට පසු යළි ඔස්ට්‍රේලියාව ඊයේ පරාජය කිරීමට සිංහයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා පිල මුලින් පන්දුවට පහරදී ලකුණු 214ක් ලබාගත් අතර, ඕවර් 33.5කදී ලකුණු 165කට සියලු ඔස්ට්‍රේලියානුවෝ දැවී ගියහ. ශ්‍රී ලංකා පිලේ මුල් පෙළ පිතිකරුවන්ට පිටියේ ස්ථාවරවීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් අවස්ථාව ලබා නොදුන්නද, නායකත්ව ඉනිමක් ක්‍රීඩා කළ චරිත් අසලංක ලකුණු 127ක් ලබා ගැනීමෙන් කණ්ඩායම ‍හිස එසැවීය. පන්දු 126කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 11ක් සමඟින් සිය සිවුවැනි එක්දින ශතකය වාර්තා කළ අසලංක ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු එක්දින තරගයකදී ලබාගත් ඉහළම සිවුවැනි ලකුණු ගණන එක් කළේය.

ශ්‍රී ලංකා මුල් පිතිකරුවන් පහම කඩුලු 5කට බිඳ වැටෙද්දී චරිත් අසලංක එක් අන්තයක් ආරක්ෂා කරමින් පන්දුවට පහරදුන් අතර 9 වැනි කඩුල්ලට ඒෂාන් මාලිංග සමඟ එක්ව පන්දු 79කදී ලකුණු 79ක් එක් කිරීමට සමත් වූවේය. ඒෂාන්ගේ සහයෝගය මිල කළ නොහැකි එකක් වූ අතර, ඔහු දැවීයන විට පන්දු 26කදී රැස්කර තිබුණේ ලකුණු 1ක් පමණි. හාඩි, ජොන්සන්, එලිස් සහ ඇබොට් එක්ව කඩුලු නවයක් දවා ගනිමින් ඕස්ට්‍රේලියාව ඔවුන්ගේ වේග පන්දු යැවීමේ සම්පත් පෙන්නුම් කළහ.

පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කිරීමට පැමිණි කැන්ගරුවන්ට ද ශ්‍රී ලංකා පන්දු යවන්නන් ප්‍රබල තර්ජනයක් එක් කිරීම තරගයේ ප්‍රාණවත් බවට ‍හේතුවක් විය. ඔස්ට්‍රේලියානු පළමු කඩුලු 4 ලකුණු 31කදී දවා ගැනීමට අසිත ප්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ හා දුනිත් ‍වෙල්ලාලගේ සමත්වී‍‍මෙන් ඔස්ට්‍රේලියා බලාපොරොත්තු බිඳ වැටෙන්නට පටන් ගත්තේය. මානස් ලැබුෂේන් හා ඇලෙක්ස් කේරි පස්වැනි කඩුල්ලට පන්දු 50කදී ලකුණු 52ක් එක්කර තිබියදී නැවැත ඔස්ට්‍රේලියාව පැත්තට තරගය යොමුවීමට ගිය ද, ලකුණු 15ක් ලබා සිටි ලැබුෂේන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට තීක්ෂණ සමත් විය.

ශ්‍රී ලංකාවට යම් හිසරදයක් වූ ඇලෙක්ස් කේරි දවා ගැනීමට නායක චරිත් අසලංක සමත්වීම තරගයේ හැරවුම් ලක්ෂයක් විය. කේරී ලකුණු 41ක් ලබා සිටියදී අසලංක එවූ පන්දුවකට ‘ලෝන් ඕෆ්‘හි සිටි පැතුම් නිශ්ශංකගේ අතට උඩ පන්දුවක් ලබා දී ක්‍රීඩාගාරයට ගියේ හිස පාත් කරගෙනය. ඔස්ට්‍රේලියානු පිලේ ඉතිරි කඩුලු හතර ලකුණු 80ක් තුළදී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. මහීෂ් තීක්ෂණ කඩුලු 4ක්, දුනිත් ‍වෙල්ලාලගේ හා අසිත ප්‍රනාන්දු කඩුලු 2 බැගින් බිඳහෙලා ජයග්‍රහණයට මඟ පෑදූහ.

ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු පිලේ ප්‍රවේගකාරී පිතිකරු ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉංග්ලිෂ් හා මිචෙල් ස්ටාක් ද, විලුඹේ ආබාධයක් ඇති ග්ලේන් මැක්ස්වෙල් ද වි‍වේක ගන්වා මෙම තරගයට නවක ක්‍රීඩකයින් එක් කොට අත්හදා බැලීමකට යොමුවී තිබීම කැපී පෙනුණි.

දෙරට අතර දෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය හෙට (14) මෙම ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදීම පෙරවරු 10ට ආරම්භ වේ.

ශ්‍රී ලංකාව

පැතුම් නිශ්ශංක ඇ. කේරී ප. ජොන්සන් 04

අවිශ්ක ප්‍රනාන්දු ඇ. ස්මිත් ප. හාඩි 01

කුසල් මෙන්ඩිස් ඇ. ෂෝට් ප. හාඩි 19

කමිඳු මෙන්ඩිස් ඇ. ෆ්‍රෙසර් ප. ‍ජොන්සන් 05

චරිත් අසලංක ඇ. ෆ්‍රෙසර් ප. ඇබොට් 127

ජනිත් ලියනගේ ඇ. ස්මිත් ප. ඇබොට් 11

දුනිත් ‍වෙල්ලාලගේ ඇ. ස්මිත් ප. ෂෝට් 30

වනිදු හසරංග ප. එලිස් 07

මහීෂ් තීක්ෂණ ඇ. කේරී ප. එලිස් 02

අසිත ප්‍රනාන්දු ඇ. කේරී ප. ඇබොට් 00

අතිරේක 07

එකතුව ඕවර් 46කදී සියලු දෙනා දැවී ලකුණු 214

කඩුලු බිඳවැටීම: 1-4, 2- 6, 3- 30, 4- 31, 5 – 55, 6 – 122, 7 – 133, 8 – 135, 9- 214, 10- 214

පන්දු යැවීම: ස්පෙන්සර් ජොන්සන් 7 – 0 – 44 – 2, ඒරන් හාඩි 6 – 0 – 13- 2, ෂෝන් ඇබට් 9 – 0 – 61 – 3, නේතන් එලිස් 9 – 2 – 23 – 2, ඇඩම් සම්පා 6 – 0 – 32 – 0, මැතිව් ෂෝට් 9 – 0 – 39 – 1

ඔස්ට්‍රේලියාව

මැතිව් ෂෝට් ක. මුවා කළා ප. ප්‍රනාන්දු 00

ජේක් ‍ෆ්‍රෙසර් මැක්ගර්ක් ඇ සහ ප. ප්‍රනාන්දු 02

කූපර් කොනාලි ක. මුවා කළා ප. තීක්ෂණ 03

ස්ටීව් ස්මිත් ප. වෙල්ලාලගේ 12

මානස් ලැබුෂේන් ක. මුවා කළා ප. තීක්ෂණ 15

ඇලෙක්ස් කේරි ඇ. නිශ්ශංක ප. අසලංක 41

ඒරන් හාඩි ක. මුවා කළා ප. හසරංග 32

ෂෝන් ඇබට් ඇ සහ ප. තීක්ෂණ 20

නේතන් එලිස් ප. වෙල්ලාලගේ 00

ඇඩම් සම්පා නොදැවී 20

ස්පෙන්සර් ජොන්සන් ක. මුවා කළා ප. තීක්ෂණ 00

අතිරේක 20

එකතුව ඕවර් 33.5කදී සියලු දෙනා දැවී ලකුණු 165

කඩුලු බිඳ වැටීම: 1- 0, 2- 7, 3- 18, 4- 31, 5- 83, 6- 85, 7- 126, 8- 127, 9- 145, 10- 165

පන්දු යැවීම: අසිත ප්‍රනාන්දු 5 – 1- 23 – 2, ඒෂාන් මාලිංග 4 – 0 – 12 – 0, මහීෂ් තීක්ෂණ 9.5 – 1 – 40 – 4, දුනිත් ‍වෙල්ලාලගේ 7 – 0 – 33 – 2, වනිදු හසරංග 6 – 0 – 47 – 1, චරිත් අසලංක 2 – 0 – 5 – 1

ප්‍රින්ස් ගුණසේකර