කඩුවෙල ජාතික පාසලේ ගැටුමට සිසුන් 6ක් අත්අඩංගුවට

කඩුවෙල බෝමිරිය ජාතික පාසලේ දරුවන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් විමර්ශන පැවැත් වූ නවගමුව පොලීසිය ඒ සම්බන්ධයෙන් සැකපිට සිසුන් 6 දෙනෙක් ඊයේ (12) අත්අඩංගුවට ගෙන ඇත.

මෙම ගැටුමෙන් සිසුවියන් 6 දෙනකු ද සිසුන් 5 දෙ‍නකු ද තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

මෙම පහරදීම සම්බන්ධයෙන් ආදි සිසුවකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද පොලිස් තොරතුරු අනාවරණය කළේය. එම ආදි සිසුවා යුද හමුදා සේවයේ සිටි අයෙක් බව නවගමුව පොලීසිය සඳහන් කරයි. විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උලෙළෙහි ශිෂ්‍ය භට පුහුණු වීමක් අතරතුර මෙම ගැටුම හටගෙන තිබේ. එම පුහුණුව සඳහා පිටතින් සම්බන්ධ වූ ආදි ශිෂ්‍යයන් දෙදෙනකු සම්බන්ධ වීමක් මුල් කරගෙන මෙම ගැටුම නිර්මාණය වී ඇති බව පොලීසිය කියයි.

මේ සම්බන්ධයෙන් එම විද්‍යාලයේ විදුහල්පති අසංග මනෝජ් මහතාගෙන් සිදු කළ විමසීමක දී ඒ මහතා මෙසේ කීය.

‘‘පාසලට බලහත්කාරයෙන් ඇතුළු වූ ආදි ශිෂ්‍යයකු ඇතුළු පුද්ගලයන් පිරිසක් විද්‍යාලයේ ශිෂ්‍ය භට පුහුණු වීම්වල නිරතව සිටි පාසලේ සිසුන්ට අමානුෂික ලෙස පහරදීලා තියනවා. තුවාල ලබපු සිසු සිසුවියන් එකොළහකට වැඩි පිරිසක් රෝහල්ගත කළා.

මෙම පහර දීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු දින කිහිපයකට පෙරත් පාසල් දරුවන් කිහිප දෙනකුට පහර දී තිබුණා. තවත් පිරිසක් සමඟ පැමිණ පාසලට බලහත්කාරයෙන් ඇතුළු වී මෙම පහරදීම සිදුකර තිබෙන්නේ.

පිරිමි දරුවන්ට පහර දීම සිදු කරන අවස්ථාවේ දී ඔවුන් බේරීමට ගිය පාසල් දැරියන්ට ද මල් පෝච්චි, ඉදල්, කොසු මිටවල් ආදියෙන් පහර දී තිබෙනවා. මේ ගැන අපි නවගමුව පොලීසියට පැමිණිල්ලක් කළා.

තුවාල ලැබූ දැරියන් 6 දෙනකුත් පිරිමි දරුවන් 5 දෙනකුත් නවගමුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර මූලික ප්‍රතිකාර කර දරුවන් පිරිස බස් රථයකින් කොළඹ ජාතික රෝහලට රැගෙන යෑමට කටයුතු කළා.“

මෙම සිදුවීම සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර අත්අඩංගුවටගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස තමන් නවගමුව පොලීසියට උපදෙස් දුන් බව නුගේගොඩ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතා දිනමිණ කළ විමසුමක දී සඳහන් කළේය.

මීගොඩ විශේෂ – බී.කේ. කත්‍රිආරච්චි