මුදල් වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටි මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට බළපිටිය මහේස්ත්‍රාත් ආර්.ඩී. ජානක මහතා නියෝග කළේය.
මෙසේ ඇප මත මුදා හැරියේ තිසර නිරෝෂණ නානායක්කාර නමැති අයෙකි.
විදේශ රැකියාවලට යවන බව කියමින් අම්බලන්ගොඩ හා අවට පුද්ගලයන් කිහිප දෙනකුගෙන් රුපියල් ලක්ෂ පහළොවක්, ලක්ෂ විස්සක් සහ ලක්ෂ තිස්එක් දහස් පන්සියයක් වංචා කිරීම සම්බන්ධයෙන් ඇල්පිටිය විශේෂ විමර්ශන ඒකකයට පැමිණිලි තුනක් ලැබී තිබිණි.
ඒ අනුව එම විශේෂ විමර්ශනය ඒකකය මඟින් නඩු තුනක් සැකකරුට එරෙහිව බළපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර තිබිණි.
සැකකරුගේ බිරිය පස් මස් ගැබිනියක් හෙයින් මුදල් ගෙවීමේ එකඟතාවය මත ඕනෑම ඇප කොන්දේසියක් යටතේ සැකකරුට ඇප ලබා දෙන ලෙස සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජීව රුවන් කුමාර මහතා අධිකරණය හමුවේ ඉල්ලා සිටියේය.
මෙම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ නඩුකර තුන සඳහා රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙක බැගින් මුදා හැරීමට නියම කළ අතර ඊට අමතරව සැකකරුට විදේශ ගමන් තහනමක්ද පැනවීය.
පැමිණිලි එක් පාර්ශ්වයක් වෙනුවෙන් නීතිඥ මධුර චින්තක ගමගේ මහතා පෙනී සිටි අතර ඇල්පිටිය පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරුන් වන එච්.එච්.බී. හරිශ්චන්ද්‍ර සහ ටී.බී. රූබසිංහ යන නිලධාරීහු පැමිණිල්ල මෙහෙය වූහ.
වැඩිදුර නඩුව ලබන ජූලි මස 30 වැනි දිනට කල් තැබීය.