හිරුණිකාගේ වරෙන්තුව ආපසු කැඳවයි

පොලිස් පනත හා මංමාවත් ආඥා පනත උල්ලංඝනය කරමින් නිදහස් චතුරස්‍රය ප්‍රදේශයේ වීදි නාට්‍යයක් රඟදැක්වීමට කටයුතු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් ඊයේ (10) පෙරවරුවේ නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය නියෝග කළාය.

සැකකාර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය නීතිඥවරු මාර්ගයෙන් මෝසමක් ගොනු කරමින් අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදී එසේ වරෙන්තු ආපසු කැඳවීය.

අධිකරණ කටයුතු පෙරවරු 9.30 ට ආරම්භ වන බැවින් නියමිත වෙලාවට අධිකරණයේ පෙනී සිටින ලෙසට අවවාද කරමින් මහේස්ත්‍රාත්වරිය මෙම වරෙන්නතුව ආපසු කැඳවූවාය.

සිද්ධියට අදාළව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සැකකරුවන් 15 දෙනකු ඊයේ (10) අධිකරණය හමුවේ පෙනී සිටියහ.

සිය සේවාදායකයන් නිදහස් චතුරස්‍රය ප්‍රදේශයේ වීදි නාට්‍යයක් රඟපා ඇති නමුත් කඩු පොලු රැගෙන අවහිර කිරීමක් සිදු නොකළ බව සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට කරුණු වාර්තා කළේය.

එම ස්ථානය ප්‍රසිද්ධ ස්ථානයක් බවත් පොලීසිය සඳහන් කරන පරිදි කිසිදු මහජන පීඩාවක් හෝ පොලිස් ආඥා පනත කඩ කිරීමක් තම සේවාදායකයන් සිදු නොකළ බවත් නීතීඥවරයා අධිකරණයට පැවසීය.

තම සේවාදායිකාවන් සමගි ජන බලවේගය පක්ෂයේ කාන්තා සංවිධානය නියෝජනය කරන අයවලුන් බවත් එවකට රට තුළ පැවති ආර්ථික අර්බුදයට එරෙහිව ඔවුන් 2022 වසරේ නොවැම්බර් මස 14 දින නිදහස් චතුරස්‍රය ප්‍රදේශයේ වීදි නාට්‍යයක් රඟ දක්වා ඇති බවත් සැකකාරියන් පිරිස වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට පෙන්වා දුන්නේය.

නිදහස් චතුරස්‍රයට ඇතුළුවීම වැළැක්වීමට කිසිවෙකුට නීතිමය අයිතියක් නොමැති නමුත් පොලීසිය එම ස්ථානයට කඩාවැදී සැකකාරියන් 14 දෙනා හා එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද ඔහු පැවසීය.

කල්පනි අබේසිංහ