ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න නව ධුරයෙහි රාජකාරී අරඹයි

බස්නාහිර පළාත් භාර නව පොලිස් ප්‍රධානියා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා පෙරේදා (09) වැඩ භාර ගත්තේය. ශ්‍රී ලංකා පොලීසියේ මේ වන විට සේවයේ නිරතව සිටින නිලධාරීන් අතර ජ්‍යෙෂ්ඨත්වයෙන් තුන්වැනියා වන්නේ සංජීව ධර්මරත්න මහතාය. පානදුර සුමංගල විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ද, කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය ද හදාරා කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුළත්ව වන ඔහු එයින් පිටවන්නේ භෞතික විද්‍යා උපාධිධාරියෙක් ලෙසිනි.

සංජීව ධර්මරත්න මහතා පොලිස් සේවයට එක්වන්නේ 1999දී ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙක් වශයෙනි. කළුතර පොලිස් විද්‍යාලයේ මූලික පුහුණුව ලබන ඔහු සහකාර පොලිස් අධිකාරී, පොලිස් අධිකාරී, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නියෝජ්‍ය පොලිස්පති වශයෙන් සේවයේ නිරතව සිට ඇත. ධර්මරත්න මහතා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ලෙස උසස්වීම් ලබන්නේ 2020දීය. ඔහු උතුරු පළාත ඇතුළුව පළාත් 06කම පොලිස් ප්‍රධානියා ලෙස කටයුතු කර තිබීම විශේෂත්වයකි. පොලිස් රාජකාරියට අමතරව යුද සමයේදී මායිම් ගම්මානවල අසරණ දරුවන්ට ගණිතය සහ ඉංග්‍රීසි ඉගැන්වීම ද ඔහු අතින් සිදු විය.

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවට ද එක්ව සේවය කර ඇති ධර්මරත්න මහතා නැඟෙනහිර ටිමෝරයේ සහ හයිටි රාජ්‍ය‍ෙය් සේවයේ නිරතව සිට ඇත. පොලිස් සේවයට එක්වීමෙන් අනතුරුව ධර්මරත්න මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව හා අපරාධ යුක්තිය පිළිබඳ පශ්චාද් උපාධි ඩිප්ලෝමාව ද, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් කළමනාකරණ පිළිබඳ විද්‍යාපති උපාධිය ද ගෙන ඇත. ධර්මරත්න මහතා ඕස්ට්‍රේලියාව, ජපානය, ස්කොට්ලන්තය, අමෙරිකාව, රුසියාව රටවල විශ්වවිද්‍යාල සහ පොලිස් විද්‍යා පීඨවල අධ්‍යයන සහ පර්යේෂණ අත්දැකීම් ලද අයෙකි.

පොලිස් ශිෂ්‍ය භට ව්‍යාපාරය විධිමත් ලෙස අන්තර් ජාතික ශිෂ්‍ය භට ප්‍රමිතීන්ට ගැළපෙන ලෙස ප්‍රතිසංස්කරණය කිරීමේ පුරෝගාමීයා වන්නේ ධර්මරත්න මහතාය.