ඇල්ල ඔඩිසි මංගල ගමනේදීම ලොකු ලාභ ගෙනත්

දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉල්ලීම මත ඊයේ (10) සිට ආරම්භ කරන ලද ඇල්ල ඔඩිසි (නානුඔය) නව දුම්රියේ මංගල ගමන්වාරයේදී රුපියල් ලක්ෂ 20 ඉක්මවන ආදායමක් ලබා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවට හැකියාව ලැබී තිබේ. දුම්රිය පෙට්ටි දෙකක් පමණක් ගමන් කරවීමෙන් එම ආදායම උපයා තිබේ. බදාදා දිනයේදී මේ ආදායම රුපියල් ලක්ෂ 30 ඉක්මවනු ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා මේ අවස්ථාවට එක් වෙමින් කීවේය. මෙම දුම්රිය අඟහරුවාදා දින හැර සතියේ දින හයක් ධාවනයට එක් කෙරෙන අතර නානුඔය හා බදුල්ල දුම්රිය ස්ථානය අතර ඊයේ (10) දින සිට ක්‍රියාත්මක විය. පෙ.ව. 08.10ට නානුඔය සිට බදුල්ල දක්වා ධාවනය වන මෙම දුම්රිස ප.ව. 01.00ට බදුල්ල සිට නානුඔය දක්වා ධාවනය කෙරේ.මෙහි පළමු පංතියේ වායුසමීකරණය කරන ලද මැදිරියේ එක් පුද්ගලයකු සඳහා රුපියල් 7000.00ක් ද දෙවන පංතියේ වෙන් කළ ආසනයක් රුපියල් 6000.00ක් ලෙස ද තෙවන පංතියේ වෙන් කළ ආසනයක් සඳහා රුපියල් 5000.00ක් වශයෙන් ගාස්තු අය කරනු ලැබේ.

එල්ජින් දිය ඇල්ල, සමිට්ලෙවල්හිදී හා පහත දැක්වෙන දර්ශන ස්ථානවලදී දුම්රිය මන්දගාමීව ගමන් කරන අතර ඉදල්ගස්සින්න දුම්රිය ස්ථානයේ හා ආරක්කු නවයේ පාලමේ විනාඩි 10 බැගින් දුම්රිය නතර කරනු ලැබේ.