ශ්‍රී ලංකා සහ ඉන්දීය ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් පැවති වන් වර්ල්ඩ් වන් ෆැමිලි කප් (One World One Family Cup) ආරාධිත විස්සයි20 ක්‍රිකට් තරගය ලකුණු 6කින් ජය ගැනීමට ඉන්දීය ප්‍රවීණයෝ සමත් වූහ.
ශ්‍රී මධුසුදන් සායි ගෝලීය මානුෂීය මෙහෙයුම මඟින් දෙවැනි වරටත් මිත්‍රත්ව තරගයක් ලෙස සංවිධානය කළ මේ තරගය පෙරේදා (8) ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේදී පැවති මේ තරගයේ දී ඉන්දීය පිල වන් වර්ල්ඩ් ලෙසත් ශ්‍රී ලංකා පිල වන් ෆැමිලි ලෙසත් පිටියට පිවිසියේය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල කඩුලු 6ක් දැවී ලකුණු 195ක් රැස් කළ අතර, එම ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා පිලට ඕවර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 189ක් පමණි.
උපුල් තරංග හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟ පන්දු 28කින් ලකුණු 51ක් රොමේෂ් කළුවිතාරණ පන්දු 36කදී හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟ 45ක් රැස් කළ අතර, ඉනිමට සාර්ථක ආරම්භයක් දුන් ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 66ක් එක් කළේ පන්දු 39කිනි. කළුවිතාරණ සමඟ එක් වූ මිලින්ද සිරිවර්ධන දෙවැනි කඩුල්ලට පන්දු 27කින් ලකුණු 61ක් එක් කළ අතර පන්දු 17කින් ලකුණු 40ක් රැස් කළ මිලින්ද දැවී යෑමෙන් එම සබඳතාව නිමා විය. අරවින්ද ද සිල්වා ලකුණු 16ක් ඉනිමට එක් කළ අතර, නුවන් සොයිසා ලකුණකට, මාවන් අතපත්තු ලකුණු 6කට, තරංග පරණවිතාන ලකුණු 4කට දැවී ගියහ.
පන්දු යැවීමේදී මනෝජ් තිවාරි සහ වෙන්කටේෂ් ප්‍රසාද් කඩුලු 3 බැගින් දවා ගත්හ.
පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය වන් වර්ල්ඩ් පිල වෙනුවෙන් යූසුෆ් පතාන් පන්දු 32කින් ලකුණු 61ක් නාමන් ඕජා පන්දු 27කින් ලකුණු 53ක් රැස් කළ අතර, ඔවුන් දෙදෙනාම හතරේ පහර 8 බැගින් සහ හයේ පහර 2 බැගින් එල්ල කර තිබිණි. මනෝජ් තිවාරි පන්දු 29කින් ලකුණු 44ක් ඉනිමට එක් කළේය. පන්දු යැවීමේදී අසේල ගුණරත්න තිලාන් තුෂාර කඩුලු 2 බැගින් බිඳ දැමූ අතර, චමින්ද වාස් සහ මුත්තයියා මුරලිදරන් කඩුල්ල බැගින් දවා ගත්හ. නුවන් සොයිසා, රවින්ද්‍ර පුෂ්පකුමාර සහ අජන්ත මෙන්ඩිස් ද පන්දු යැවුවද කඩුලු දවා ගැනීමට නොහැකි වූහ. මේ තරගයේදී මාවන් අතපත්තු සහ මුත්තයියා මුරලිදරන්ගේ සුපිරි උඩ පන්දු රැකීම කැපී පෙනිණි.
මේ තරගයෙන් ලැබෙන සියලු ආධාර ශ්‍රී මධුසුධන් සායි අරමුදල වෙත බැර කෙරෙන අතර, එමඟින් දරුවන්ගේ පෝෂණය, නොමිලේ ආහාර සහ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් වැය කරයි.
ඉන්දියන් වන් වර්ල්ඩ් – 195/6 (ඕවර 20) යූසුෆ් පතාන් 61, නාමන් ඕජා 53, මනෝජ් තිවාරි 44, සුබ්‍රමනියම් බද්රිනාත් 15 (අසේල ගුණරත්න 23/2, තිලාන් තුෂාර 47/2, චමින්ද වාස් 10/1, මුත්තයියා මුරලිදරන් 27/1)
ශ්‍රී ලංකා වන් ෆැමිලි – 189/9 (ඕවර 20) උපුල් තරංග 51, රොමේෂ් කළුවිතාරණ 45, මිලින්ද සිරිවර්ධන 40, අරවින්ද ද සිල්වා 16 (මනෝජ් තිවාරි 20/3, වෙන්කටේෂ් ප්‍රසාද් 25/3)