මහවැලි පුනරුදයෙන් ගෘහාශ්‍රිත නවාතැන් ක්‍රමය අරඹයි

මහවැලි ජනපද ප්‍රදේශවල වෙසෙන තරුණ තරුණියන්ට ඩොලර් උත්පාදන ආර්ථිකයක් ලබාදීම අරමුණු කර ගනිමින් සංචාරකයන්ගේ නවමු අත්දැකීමක් වන ගෘහාශ්‍රිත නවාතැන් ක්‍රමය (Homestay) මහවැලි ප්‍රදේශවල ක්‍රියාත්මක කිරීම මහවැලි පුනරුද සතිය දෙවන අදියර යටතේ ආරම්භ කෙරිණි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රමිති හා තත්ත්ව ආරක්‍ෂණ අධ්‍යක්ෂිකා තරංගා රූපසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් මිණිපේ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී මේ වැඩසටහන ආරම්භ විය. ඒ යටතේ මිණිපේ, විල්ගමුව කොට්ඨාසවල වෙසෙන මහවැලි ජනපදික තරුණයන්ට මිණිපේ, විල්ගමුව ප්‍රදේශ නව සංචාරක ගමනාන්තයක් ලෙස සංවර්ධනය කිරීමේ වැදගත්කම පහදාදීම සිදු කෙරිණි. සංචාරකයන්ට තම නිවෙසෙහි නවාතැන් ගැනීම සඳහා නිවෙස සකසා ගැනීම පිළිබඳව මෙහිදී පැමිණ සිටි තරුණ පිරිස දැනුම්වත් කළහ. මේ සංචාරක කර්මාන්තයට පිවිසීමට බලාපොරොත්තු වන තරුණ තරුණියන්ට සුළු පොලියක් යටතේ බැංකු ණය පහසුකම් ලබා ගැනීමට පහසුකම් සලසන බව ද අවධාරණය කෙරිණි. සාකච්ඡාවෙන් පසුව මේ කර්මාන්තය සඳහා යොමු වීමට කැමති තරුණ තරුණියන් ලියාපදිංචි කර ගැනීමක් ද සිදු විය.

එයට අමතරව විල්ගමුව, වටගල සහ සුළුගුණයේ ධීවර සමිති බලගැන්වීම සහ ධීවර ප්‍රජාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මාළු අල්ලන ඔරු, දැල් ආම්පන්න සහ තරාදි දුන් අතර, තිලාපියා මාළු පැටව් 50,000ක් ද වැවට මුදාහරින ලදී. මේ සියලු ප්‍රදාන මහවැලි ඊ කලාපයේ පුනරුද සතිය වෙනුවෙන් මහවැලි අධිකාරියේ ප්‍රතිපාදන මත දී ඇත.

මේ අවස්ථාවට මහවැලි නේවාසික ව්‍යාපාර කළමනාකරු එච්. එම්. ආර්. හේරත් මහතා ඇතුළු මහවැලි අධිකාරියේ නිලධාරීහු සහභාගී වූහ.

බුද්ධිකා ඉඹුලාන