“ලෝක රාජ්‍ය සමුළුව – 2025” සහභාගි වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (10) එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යාමට නියමිතව තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් ෂයිඩ් අල් නායන් මහතාගේ ආරාධනයකට අනුව අද සිට එළඹෙන 13 දා තෙක් ජනාධිපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරය කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම සංචාරය අතරතුර, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඩුබායි හි පැවැත්වෙන 2025 ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට නියමිතව තිබෙන අතර අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ එරට ජනාධිපති මොහොමඩ් බින් ෂයිඩ් අල් නායන් මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
ඊට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උප ජනාධිපති සහ අගමැති ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් මහතා ද හමුවීමට නියමිතව තිබෙන අතර එම සමුළුවට සහභාගී වන රටවල් කිහිපයක රාජ්‍ය නායකයන් සහ ආණ්ඩු ප්‍රධානීන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව ඇත.
ශ්‍රී ලංකාවට ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තොරතුරු තාක්ෂණ, කෘත්‍රිම බුද්ධිය, බලශක්ති, සංචාරක, මූල්‍ය සහ මාධ්‍ය යන ක්ෂේත්‍රවල ප්‍රමුඛ පෙළේ ගෝලීය සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන් රැසක් සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතය.
ජනාධිපතිවරයාගේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරනු ඇති බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙයි.
උපාලි කරුණාරත්න, මහින්ද අලුත්ගෙදර