බ්‍රසීලයෙත් සැහැල්ලු ගුවන් යානයක් බස් රථයක් මතට කඩා වැටෙයි
මේ වසරේදී ලොව ගුවන් අනතුරු ඉහළ ගොස් ඇතැයි ද, පසුගිය බ්‍රහස්පතින්දා සිට සිකුරාදා දක්වා ගත වූ පැය 24 ඇතුළත පමණක් ලොව පුරා ගුවන් අනතුරු 3ක් සිදුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය බ්‍රහස්පතින්දා දහවල් දකුණු පිලිපීනයේදී අමෙරිකානු හමුදාවට අයත් සැහැල්ලු ගුවන්යානයක් කඩා වැටීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් සිවුදෙනාම ජීවිතක්ෂයට පත්වූ බවත්, එදිනම පස්වරුවේ අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේදී මගීන් 10 දෙනකු සමඟ අතුරුදන්වූ ගුවන් යානයක සුන්බුන් දින දෙකකට පසු එම ප්‍රාන්තයේ නෝම් නුවර ආසන්නයේ පිහිටි හිම කඳු සහිත ප්‍රදේශයකින් හමුවී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ඊට පැය කිහිපයකට පසු සිකුරාදා අලුයම බ්‍රසීලයේ සාඕ පාඔලෝ නුවරදී කුඩා ගුවන්යානයක් බස් රථයක් මතට කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
දකුණු පිලිපීනයේදී කඩා වැටුණු බීච්ක්‍රාෆ්ට් කිං 300 දරන අමෙරිකානු හමුදාවට අයත් සැහැල්ලු ගුවන්යානය කඩා වැටීමට හේතුව මෙතෙක් හෙළි වී නැති අතර, පිලිපීනය සහ අමෙරිකාව ඒකාබද්ධව විමර්ශන ආරම්භ කර ඇතැයි වාර්තා වේ. අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයේදී අනතුරට ලක්වී ඇත්තේ උනලක්ලීට් නුවර සිට නෝම් බලා පියාසර කරමින් තිබූ බෙරිං ගුවන් සේවයට අයත් සැහැල්ලු ගුවන්යානයක් වන අතර, එය ගුවන් ගත වී පැය කිහිපයකට පසු රේඩාර් පද්ධතියෙන් නොපෙනී ගිය බවත්, අතුරුදන් වූ ගුවන් යානය සොයා සිදු කළ අඛණ්ඩ මෙහෙයුම්වලින් දින දෙකකට පසු ගුවන් යානයේ සුන්බුන් සහ මළසිරුරු 3ක් සොයාගත් බවත් ඇලස්කාවේ පොලිස් මෙහෙයුම් නිලධාරීන් ප්‍රකාශ කර තිබේ. ගුවන්යානය මුළුමනින්ම විනාශ වී තිබූ බැවින් එහි සිටි සෙසු පුද්ගලයන් 7 දෙනා ද මිය යන්නට ඇතැයි පොලිස් නිලධාරීන්ගේ විශ්වාසය වී තිබේ. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි මූලික පරීක්ෂණයේදී අනාවරණය වූ බව ද වාර්තා වේ.
පසුගිය සිකුරාදා අලුයම බ්‍රසීලයේ සාඕ පාඔලෝ නුවර වීදියකදී බස් රථයක් මතට සැහැල්ලු ගුවන්යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇති අතර, තවත් පුද්ගලයන් 6 දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. ගුවන් යානය බස් රථය මතට කඩා වැටීමත් සමඟ විශාල ගින්නක් පැතිරී ගොස් ඇති අතර, සාඕ පාඔලෝ නුවර ගිනි නිවන ඒකකය දැඩි උත්සාහයකින් පසු තත්ත්වය පාලනය කළ බව එරට මාධ්‍ය සඳහන් කරයි. ගුවන් යානය කඩා වැටීමත් සමඟ විසිවී ගිය යානයේ සුන්බුන් ගැටීමෙන් යතුරුපැදිකරුවකුද තුවාල ලබා ඇතැයි වාර්තා වේ. මිය ගිය දෙදෙනා ගුවන් නියමුවන් බවට අනුමාන කර ඇති අතර, අනතුරට හේතුව මෙතෙක් හෙළි වී නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වසරේ ගත වූ සති කිහිපය ඇතුළත අමෙරිකාවේ ගුවන් යානා අනතුරු 3ක් සිදුවී ඇති අතර, එහිදි මිය ගිය ගණන 84ක් වන බව වාර්තා වේ. පසුගිය ජනවාරියේ 29 වැනිදා අමෙරිකානු ගුවන් සේවයට අයත් දේශීය ගුවන් යානයක් සහ යුද හමුදා හෙලිකොප්ටරයක් වොෂින්ටන් නුවර උඩු ගුවනේදී එකට ගැටීමෙන් යානා දෙකම ගිනි ගෙන පොටෝමැක් ගංගාවට කඩා වැටිණි. එම අනතුරින් ගුවන් යානයේ සහ හෙලිකොප්ටර් යානයේ සිටි පුද්ගලයන් 67 දෙනාම ජීවිතක්ෂයට පත්වූ අතර, ඊට දින දෙකකට පසු ෆිලඩෙල්ෆියා නුවර සිට රෝගියකු රැගෙන මෙක්සිකෝව බලා පියාසර කරමින් තිබූ ගුවන් ගිලන් ජෙට් යානයක් කඩා වැටී එහි ගමන් කළ පුද්ගලයන් 6 දෙනා ඇතුළුව 7 දෙනකු ජීවිතක්ෂයට පත් වී තිබිණි.