ගාසා සටන් විරාමයෙන් තවත් ප්‍රාණඇපකරුවෝ 3කට නිදහස-ඊශ්‍රායලයෙන් පලස්තීනුවෝ 183ක් මුදා හරියි

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමට අනුව පෙරේදා තවත් ප්‍රාණඇපකරුවන් තිදෙනකු නිදහස ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායල රජය එරට සිරගත කර සිටි පලස්තීන සිරකරුවන් 183 දෙනකු නිදහස් කළ බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

කෙසේ වුවද දෙපාර්ශ්වයෙන්ම නිදහස ලැබූවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය නිවේදනය කර ඇති අතර, ඉදිරියේදී මේ පිළිබඳ දැඩි අවධානය යොමු කරන ලෙස ඊශ්‍රායලයෙන් මෙන්ම හමාස් සංවිධානයෙන් ද ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

හමාස් සංවිධානය විසින් නිදහස් කරනු ලැබූ ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් තිදෙනා වැහැරී ගිය පෙනුමක් සහිත ඉතා දුර්වල තත්ත්වයක පසුවූ බවත්, ඊශ්‍රායලය විසින් නිදහස් කරනු ලැබූ පලස්තීනුවන්ගෙන් 7 දෙනකු අයහපත් සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් රෝහල්ගත කිරිමට සිදුවූ බවත් වැඩිදුරටත් වාර්තා වේ.

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන ලබන සතියේදී ක්‍රියාත්මක වීමට නියමිත මීළඟ සිරකරු හුවමාරුවේ සිට ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා එම කටයුතු මහජන සහභාගීත්වයකින් තොරව සිදු කරන ලෙස ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය ඊශ්‍රායලයෙන් මෙන්ම හමාස් සංවිධානයෙන් ද ඉල්ලා ඇතැයි වාර්තා වේ.