කැන්ගරුවෝ දෙවැනි ටෙස්ට් තරගය කඩුලු 9කින් ජය ගනිති

ඔස්ට්‍රේලියාව වසර 14කට පසු ශ්‍රී ලංකාවේදී ලැබූ තරගමාලා ජයක්

ශ්‍රී ලංකා පළමු ඉනිම – 257 (ඕවර 97.4) කුසල් මෙන්ඩිස් නොදැවී 85, දිනේෂ් චන්දිමාල් 74 (මිචෙල් ස්ටාක් 37/3, මැතිව් කූනමන් 63/3, නේදන් ලයන් 96/3)

ඔස්ට්‍රේලියා පළමු ඉනිම – 414 (ඕවර 106.4) ඇලෙක්ස් කේරී 156, ස්ටීව් ස්මිත් 131 (ප්‍රභාත් ජයසූරිය 151/5, නිශාන් පීරිස් 94/3, රමේෂ් මෙන්ඩිස් 81/2)

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම

පැතුම් නිස්සංක ප.කූනමන් 8

දිමුත් කරුණාරත්න ඇ.කෙරී ප.කූනමන් 14

දිනේෂ් චන්දිමාල් ඇ.වෙබ්ස්ටර් ප.ලියෝන් 12

ඇන්ජලෝ මැතිව්ස් ඇ.වෙබ්ස්ටර් ප.ලියෝන් 76

කමිඳු මෙන්ඩිස් ඇ.කවාජා ප.ලියෝන් 14

ධනංජය ද සිල්වා ඇ.ස්මිත් ප.කූනමන් 23

කුසල් මෙන්ඩිස් ඇ. ස්මිත් ප.ලියෝන් 50

ර‍මේෂ් මෙන්ඩිස් ඇ.හේඩ් ප.වෙබ්ස්ටර් 0

ප්‍රභාත් ජයසූරිය ඇ.ස්මිත් ප.කූනමන් 6

ළහිරු කුමාර ප.වෙබ්ස්ටර් 9

නිශාන් පීරිස් නොදැවී 9

අතිරේක 15

එකතුව සියලු දෙනා දැවී (ඕවර 68.1) 231

කඩුලු බිඳවැටීම: 1-9, 2-33, 3-39, 4-81, 5-128, 6-198, 7-199, 8-211, 9-217, 10-231

පන්දු යැවීම: ස්ටාර්ක් 4-0-22-0, කූනමන් 23-5-63-4, හේඩ් 9-0-33-0, ලියෝන් 28-3-84-4, වෙබ්ස්ටාර් 2.1-0-6-2, කොනාලි 2-0-9-0

ඔස්ට්‍රේලියා දෙවැනි ඉනිම

උස්මාන් කවාජා නොදැවී 27

ට්‍රැවිස් හේඩ් ඇ.මෙන්ඩිස් ප.ජයසූරිය 20

මානස් ලබුස්චේන් නොදැවී 26

අතිරේක 2

එකතුව කඩුල්ලක් දැවී (ඕවර 17.4) 75

කඩුලු බිඳවැටීම: 1- 38

පන්දු යැවීම: රමේෂ් 3-1-16-0, පීරිස් 8-0-34-0,

ජයසූරිය 6-1-20-1, කරුණාරත්න 0.4-0-3-0.

දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 9ක පහසු ජයග්‍රහණයක් ලබාගත් ඔස්ට්‍රේලියාව 2-0ක තරගාවලි ජයග්‍රහණයක් ලබා ටෙස්ට් පිටියෙන් සමුගත් දිමුත් කරුණාරත්නට ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අමිහිරි මතකයක් සමඟ විශ්‍රාම යෑමට ඉඩ දුන්නේය.

තවත් දින එකහමාරක කාලයක් ඉතිරිව තිබියදී ඔස්ට්‍රේලියාව ලැබූ මේ ජයග්‍රහණය 2011න් පසු ශ්‍රී ලංකාවේදී වසර 14කට පසු ලැබූ ටෙස්ට් තරගමාලා ජයක්වීම විශේෂත්වයකි. එදා රිකී පොන්ටින්ගේ නායකත්වය යටතේ ජය ලැබුණු අතර, 2016දී ස්ටීව් ස්මිත්ගේ නායකත්වය යටතේ ඔස්ට්‍රේලියාව 3-0කින් පූර්ණ පරාජයක් ශ්‍රී ලංකාව ඉදිරියේ ලැබීය.

ඩුබායිහි පුහුණු කඳවුරකින් පසු ඉතා සූක්ෂම සැලසුමකින් පැමිණි ඔස්ට්‍රේලියාව උපාය මාර්ග නිවැරදිව භාවිත කරමින් පළමු ටෙස්ට් තරගය ඉනිමකින් හා ලකුණු 242කින් ජයගත් අතර, ඊ‍යේ දෙවැනි තරගයේදී ශ්‍රී ලංකා පිලට පීඩනය දැඩි කළේය.

කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකාව පළමු ඉනිමේ ලබාගත් ලකුණු 257ට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව පළමු ඉනිමේ සියලු දෙනා දැවී ලකුණු 414ක් රැස් කොට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 157ක් ඉදිරියෙන් සිටියේය. ශ්‍රී ලංකාව දෙවැනි ඉනිමේ ලකුණු 231ක් ලබාගත් හෙයින්, ඔස්ට්‍රේලියාවට ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 75ක ඉලක්කයක් එල්ලවූ අතර, ට්‍රැවිස් හෙඩ් ලකුණු 20කට දැවී ගියා පමණි.

ටෙස්ට් බිමෙන් සමුගෙන යන දිමුත් කරුණාරත්න වසර තුනකට පසු ටෙස්ට් තරගයකදී යැවූ පළමු පිට දඟ පන්දු ඕවර‍යේදී ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 3ක් අවශ්‍යව තිබූ අතර, නොදැවී ලකුණු 26ක් ලැබූ මානස් ලැබුෂේන් තරගය අවසන් කළේය. එවිට අනෙක් අන්තයේ ආරම්භක පිතිකරු උස්මාන් කවාජ නොදැවී ලකුණු 27ක් ලබා සිටියේය.

නායක ස්ටීවන් ස්මිත් ඔහුගේ 200 වැනි ටෙස්ට් උඩ පන්දුව සමඟින් වැඩිම උඩපන්දු ලබාගත් ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයා බවට පත්ව විශිෂ්ට තරගාවලියක් සම්පූර්ණ කළ අතර, ආසියානු උප මහද්වීපයේ වැඩිම ටෙස්ට් ලකුණු රැස් කළ ඔස්ට්‍රේලියානු පිතිකරුවා බවට ද පත්විය.

මේ වන විට ස්මිත් 52.47ක ඉනිමක සාමාන්‍යයක් පවත්වා ආසියානු තණතීරු තුළ ලකුණු 1994ක් රැස් කර ඇත. ඒ අනුව ඔහු පසුකර ගියේ ඔස්ට්‍රේලියානු හිටපු නායක රිකී පොන්ටින් රැස්කරගෙන සිටි ලකුණු 1889ක වාර්තාවය.

පෙරේදා තෙවැනි දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 2ක් අතැතිව ලකුණු 54ක් ඉදිරියෙන් සිටි අතර, කඩුල්ලේ රැඳී සිටි කුසල් මෙන්ඩිස් ඊයේ දිනයේ තම 21 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කිරීමත් සමඟ මිනිත්තු 103කදී පන්දු 54කට මුහුණදී හයේ පහරක් හා හතරේ පහර 5ක් සමඟ ලකුණු 50 සම්පූර්ණ කර දැවී ගියේය. අංක 7 ස්ථාන‍යේ ස්ථාවරත්වයක් ලබා ඇති කුසල් පළමු ඉනිමේදී නොදැවී ලකුණු 85ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා පිල ඊයේ මිනිත්තු 25කදී ඕවර 6.3කට මුහුණදී සියලු දෙනා දැවී ගියේය. ශ්‍රී ලංකා පිලේ පිතිකරුවන් 5ක්ම දෙවැනි ඉනිමේදී ලකුණු 10 සීමාව පසු කිරීමට සමත් නොවීම කැපී පෙණුනි.

ඇන්ජලෝ මැතිව්ස් පන්දු 149කට මුහුණදී පැය 2කට වැඩි කාලයක් කඩුල්ලේ රැඳී සිට හයේ පහරක් හා හතරේ පහර 4ක් සමඟ ලකුණු 76ක් ලබා තම 45 වැනි ටෙස්ට් අර්ධ ශතකය රැස් කළේය. පළමු ඉනිමේදී ලකුණු 74ක් ලබාගත් දිනේෂ් චන්දිමාල් මේ තරගාවලියේ ලැබූ දෙවැනි අර්ධ ශතකය සම්පූර්ණ කළේය.

දෙරට අතර තරග 2කින් සමන්විත එක්දින තරගාවලිය මේ 12 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

ප්‍රින්ස් ගුණසේකර ගාලු ක්‍රීඩාංගණයේ සිට…